ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

නාමල්ගේ ක්‍රිෂ් නඩුවේ මුල් වාර්තාව කොළඹ මහාධිකරණයෙන් ඉල්ලයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකරනු ලැබූ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින මුල් නඩු වාර්තාව කැඳවීමට පියවර ගන්නැයි කොළඹ මහාධිකරණය එහි රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේ ය.

මෙම නඩුව අද (සැප්. 26) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ ඉදිරියේ කැඳවිය.

එම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ පැවසුවේ, විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන අතුරින් සමහර ලේඛන මෙතෙක් පැමිණිල්ල විසින් තමන්ට ලබා දී නොමැති බව ය.

ඔහු තවදුරටත් සඳහන් කළේ, සාධාරණ නඩු විභාගයකට මුහුණ දීම සඳහා එම ලේඛන ඉතා වැදගත් බව ය.

ඊට ප්‍රතිචාර දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා අධිකරණය හමුවේ පැවසුවේ, විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛනවලින් බොහොමයක් මේ වන විටත් ඔවුන් වෙත ලබා දී තිබෙන බව ය.

මෙතෙක් ලැබී නොමැති බවට විත්තිය විසින් සඳහන් කරන ලේඛන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ලබා දිය හැකි ලේඛන කඩිනමින් ලබා දීමට කටයුතු කරන්නේ යැයි ඔහු සඳහන් කළේ ය.

එම අවස්ථාවේදී විනිසුරුවරිය සඳහන් කළේ, විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන කඩිනමින් මීළඟ දිනට පෙර ඔවුන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙස ය.

මෙම නඩුව පූර්ව නඩු විභාගය දෙසැම්බර් 18 වන දා කැඳවීමට විනිසුරුවරිය නියෝග කළේ ය.