විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවට
වසර 17කට පසු 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම අද (29) සමත්විය.
ඒ 2024 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 7කින් පරාජයට පත්කරමිනි.
එහිදී කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 176ක් රැස්කිරීමට සමත් වුණා.
ඉන්දීය ඉදිරිපෙළ කඩා වැටෙද්දී අන්තය ආරක්ෂා කරගත් විරාට් කෝලි ඉනිමේ නැංගුරම වෙමින් පන්දු 59කින් ලකුණු 76ක් රැස්කිරීමට සමත් වුණා.
පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබා අංක 05 පිතිකරු ලෙස පිටියට පිවිසි අක්සාර් පටෙල් පන්දු 31කට මුහුණදෙමින් ලකුණු 47ක් රැස්කිරීමට සමත් වුණා.
ලකුණු 177ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකා කණ්ඩායමට නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 169ක් පමණි.
දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් හෙන්රික් ක්ලාසන් ලකුණු 52ක් රැස්කළ අතර ක්වින්ටන් ඩි කොක් ලකුණු 39ක් රැස්කළේය
ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා සහ අර්ෂ්දීප් සිං කඩුලු 2ක බැගින් දවාගත් අතර හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 03ක් දවාගත්තේය.