ඉරාන ජනාධිපති සහ විදේශ ඇමති ගමන් කළ හෙළිකොප්ටරය කඩා වැටෙයි
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ ඔහුගේ විදේශ අමාත්‍යවරයා රැගත් හෙලිකොප්ටරයක් දැඩි මීදුමකින් කඳුකරය තරණය කරමින් සිටියදී අද (19) කඩා වැටුණු බව ඉරාන නිලධාරියෙක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඊබ්‍රහීම් රයිසි සම්බන්ධව අපට අතිශයින් සමීප මතකයක් තිබේ. උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නිල වශයෙන් ජාතියට තිළිණ කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා සති තුනකට පෙර, එනනම් අප්‍රේල් මස 24 වැනිදා රයිසි මත්තලින් ලංකාවට පැමිණියේය.
ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසුවේ ප්‍රදේශයේ අධික මීදුම සමග පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් එම ස්ථානයට ළඟා වීමට උත්සාහ කරමින් සිටින බව ය.
සහන සේවා කණ්ඩායම්වලට එම ප්‍රදේශයට ළඟා වීමට කාලය ගතවිය හැකි බව ද ඔහු සඳහන් කළේය.
ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව, ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අසර්බයිජාන දේශසීමාවේ චීස් ක්වොලාසී සහ කුඩාෆිරන් නමැති වේලි විවෘත කිරීමෙන් පසුව ඉරානයේ වයඹ දෙසින් පිහිටි ටබ්රිස් නගරයට ආපසු පැමිණෙමින් සිට ඇත.
ෆාර්ස් ප්රවෘත්ති ඒජන්සියේ වාර්තාකරුවෙකුට අනුව හෙලිකොප්ටරය ගොඩබස්වන්නට ඇතැයි සිතන ස්ථානයේ දැඩි මීදුම් සහිත තත්ත්වයක් පවතින අතර ඒ හේතුවෙන් සෝදිසි කිරීම දුෂ්කර වී තිබේ.
කඳු සහ වනාන්තර ප්‍රදේශයේ බාධාවකින් තොරව පෙනෙන සීමාව මීටර් පහක් පමණ දක්වා අඩු වී ඇති බව ද ඔහු පැවසීය.
මෙම ප්‍රදේශය ටබ්රිස් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 50 ක් පමණ දුරින් උතුරට වන්නට පිහිටා ඇත.
ටබ්රිස් නගරයේ ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී අහමඩ් අලිරේසාබෙයිගි ටෙහෙරානයේ වාර්තාකරුවන්ට පවසා ඇත්තේ මුදා ගැනීමේ සේවකයින්ට ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය ඇති ස්ථානය තවමත් සොයාගැනීමට නොහැකි වී ඇති බවයි.
ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය සමග පියාසර කළ අනෙක් හෙලිකොප්ටර් යානා දෙක නිරුපද්‍රිතව නියමිත ගමනාන්තයට ළඟාවී ඇති බව ද ඔහු සඳහන් කළේය.
ඊබ්‍රහිම් රයිසි යනු කවුද?
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අතිශය සාම්ප්රදායීක දේශපාලන අදහස් ඇති දැඩි මතධාරී පූජකයෙකු ලෙස සැලකෙයි.
63 හැවිරිදි ඊබ්‍රහිම් රයිසි ටෙහෙරානයේ නියෝජ්‍ය නීතිපති බවට පත් වූයේ ඔහු වයස අවුරුදු 25 පසුවන විටදී යි.
2014 වර්ෂයේදී ඉරානයේ නීතිපතිවරයා ලෙස පත් කිරීමට පෙර ඔහු ටෙහෙරානයේ අභිචෝදක, පසුව රාජ්‍ය පරීක්ෂක සංවිධානයේ ප්‍රධානියා සහ පළමු නියෝජ්‍ය අධිකරණ ප්‍රධානියා ලෙස ද සේවය කර ඇත.

ඊබ්‍රහිම් රයිසි 2017 වසරේදී පළමු වරට ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා ඉදිරිපත් වීමේදී ජාත්‍යන්තර නිරීක්ෂකයින් මවිතයට පත්වූ බව පැවසේ.
අනතුරුව 2019 වසරේදී ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි විසින් ඔහුව අධිකරණ ප්‍රධානියා ලෙස නම් කළේය.
ඊබ්‍රහිම් රයිසි ඉරානයේ ජනාධිපතිවරයා ලෙස පත්වුණේ 2021 වසරේ ජූනි මාසයේදි යි.