ColomboXnews

News | Gossip | Political | Entertainment

ArtNewsSlider

ගීත 7ක් ගායනා කිරීමට සේනක බටගොඩට වාරණයක්

ජනත් කුලතිලක නමැත්තෙකු විසින් පද රචනය, තනු නිර්මාණය හා සංගීතය සංකලනය කරන ලද බව කියන ගීත 7ක් වෙනුවෙන් බුද්ධිමය දේපළ පනත යටතේ ගෙවිය යුතු කර්තෘ භාගය නොගෙවූ ගායන ශිල්පී සේනක බටගොඩට එම ගීත 7 මින් ඉදිරියට ගායනා කිරීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු අද (අප්‍රේල් 2) වාරණයක් නිකුත් කර තිබේ.

‘අපි කවුරු ද’, ‘අපි සැනසිල්ලේ’, ‘රස්තා’, ‘අළු යට ගිනි’, ‘හීනවලට පණක් තිබෙනවා’, ‘හොඳ ම දේ’ හා ‘සැනසෙන්නම්’ යන ගීත 7 ගායනය කිරීම වළක්වාලමින් එලෙස වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කෙරිණි.

ජනත් කුලතිලක යන අය විසින් නීතිඥවරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණයෙන් මෙලෙස නියෝග නිකුත් කර ඇත.

එසේ ම, ජනත් කුලතිලක යන අයගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත 7 වෙනත් පාර්ශවයක් වෙත පැවරීම වළක්වමින් ද වාණිජ මහාධිකරණය වාරණයක් නිකුත් කර තිබේ.

සිය සේවාදායකයාට හිමි බුද්ධිමය දේපළ අයිතිවාසිකම් විත්තිකාර ගායන ශිල්පී සේනක බටගොඩ යන අය උල්ලංඝණය කර ඇති බව පෙන්වා දෙමින් නීතිඥ තිලිණි හේවාවිතාරණගේ උපදෙස් පරිදි පෙනී සිටි නීතිඥ සඳුන් සේනාධිපති කරන ලද කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝග නිකුත් කළේ ය.