ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSliderSports

නුවන් තුෂාර කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු විය යුතුයි – මාලිංග

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය නුවන් තුෂාරගේ විශිෂ්ට දක්ෂතා මත ජයග්‍රහණය කිරීමටත්, තරගාවලිය 2 – 1ක් වශයෙන් ජයග්‍රහණය කිරීමටත් ශ්‍රී ලංකා කණ්ඩායමට පෙරේදා (9 වැනිදා) හැකි වූ අතර මෙම තරගයේදී නුවන් තුෂාර දැක් වූ දක්ෂතා මත එළඹෙන ලෝක කුසලානයේදී කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් ඔහුට හිමි විය යුතු බව හිටපු ක්‍රිකට් නායක ලසිත් මාලිංග සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේය.

“නුවන් එම තරගයේදී පන්දු යොමු කළ ආකාරය විශිෂ්ටයි. ඔහුට අනිවාර්යයෙන්ම එළඹෙන ලෝක කුසලානයේදී කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමි විය යුතුයි. අලුත් පන්දුවෙන් හොඳ දෝලනයක් ගන්න තුෂාරට පුලුවන් ඒ වගේම මතීෂට පරන පන්දුවෙන් හුඟක් හොඳට යෝකර් දාන්න පුලුවන්. මං විශ්වාස කරනවා ඊලඟ ලෝක කුසලානයේදී මේ දෙන්නම කණ්ඩායමේ සිටියි යුතුයි කියලා” යනුවෙන් මාලිංග අදහස් ප්‍රකාශ කළේය.

මෙම තරගයේදී නුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක් (හැට්‍රික් අවස්තාවක්) සමගින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. නුවන් තුෂාර දවාගත් මෙම කඩුලු ත්‍රිත්වය සමගින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පස් දෙනෙකු අවස්තා හයකදී ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ කඩුලු ත්‍රිත්වයන් දවාගැනීමට සමත් වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස කඩුලු ත්‍රිත්වයන් ලබාගත් පෙර ක්‍රීඩකයින් වශයෙන් තිසර පෙරේරා, වනිඳු හසරංග, අකිල ධනංජය සහ ලසිත් මාලිංග වාර්තා වී තිබෙන අතර මාලිංග කඩුලු ත්‍රිත්වය බැගින් අවස්තා දෙකකදී දවාගැනීමට සමත් වී ඇත.

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාවත්, දෙවැන්න බංග්ලදේශයත් ජයග්‍රහණය කළ අතර තරගාවලියේ තීරණය තුන්වන තරගය මත රැඳී තිබුණි. තරග තහනමකට ලක් වූ නිත්‍ය නායක වනිඳු හසරංග, ධනංජය ද සිල්වා සහ නුවන් තුෂාර සිල්හැට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගය සඳහා කණ්ඩායමට එක් වූ අතර මතීෂ පතිරණ, අවිශ්ක ප්‍රනාන්දු සහ දිල්ශාන් මධුසංක විවේක ගන්වා තිබුණි. කාසියේ වාසිය පරාජය වී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 174ක් රැස් කරගැනීමට සමත් විය.

කුසල් මෙන්ඩිස් ලකුණු 86ක් රැස් කළ අතර මේ සමගින් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම ලකුණු රැස් කරගත් තුන්වැන්නා බවටද ඔහු පත් විය. මෙම ඉනිමට 6 පහර 6ක් අන්තර්ගත වූ අතර මේ සමගින් විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා බවට පත් වීමටත් ඔහුට හැකිවිය.

ලකුණු 175ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ඉනිම සුනු විසුණු කළ නුවන් තුෂාර සිව්වන පන්දුවාරයේ දෙවන, තුන්වන සහ සිව්වන පන්දුවේදී පිළිවෙලින් නජ්මුල් ශැන්ටෝ, තව්හිද් හ්‍රිදෝයි සහ මහමදුල්ලා දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළේය. මේ සමගින් තරගයට පිවිසි ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පන්දුවාර 19.4දී සියලු බංග්ලාදේශ පිතිකරුවන් ලකුණු 146කට දවා ගැනීමට සමත් විය. නුවන් තුෂාර ලකුණු 20කට කඩුලු 5ක් බිඳ හෙළූ අතර වනිඳු හසරංග කඩුලු 2ක් දවාගත්තේය.