දේශබන්ධුගේ යුක්තියේ මෙහෙයුම නාරම්මලදී තවත් අහිංසක ජීවිතයක් බිලිගනී.. සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරියෙක් ලොරි රථ රියදුරෙකුට වෙඩි තබයි.. (වීඩියෝ)
නාරම්මල දම්පැලැස්ස ප්රදේශයේදී පොලිස් වෙඩි පහරකින් රියදුරෙකු මියයාමේ සිදුවිමෙන් පසු නාරම්මල පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
එම සිදුවිමට විරෝධය පළ කරමින් මියගිය පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු ප්රදේශවාසීන් පිරිසක් නාරම්මල පොලිසිය ඉදිරිපිට ඊයේ (18) රාත්රියේ කළහාකාරී ලෙස හැසිරි ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන තිබුණා.
නාරම්මල පොලීසියේ නිළධාරීන් පිරිසක් ඊයේ පස්වරුවේ මෙහෙයුමක් සිදුකරමින් සිටින අතරතුර නාරම්මල නගරය ආසන්නයේදී කුඩා ලොරි රථයකට නවත්වන ලෙස අණ කර තිබියදී එම රථය අණ නොතකා ධාවනය කර ඇති බව පොලීසිය පවසනවා.
එහිදී උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු යතුරුපැදියකින් එම ලොරි රථය හඹා ගොස් එය නවතා දම්පැලැස්ස හංදිය අසලදී පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
එම අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයාගේ ගිනි අවිය ක්රියාත්මක වී ලොරි රථයේ රියදුරුට වෙඩි වැදී එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 40 හැවිරිදි අලවිට ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු වන අතර සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා නාරම්මල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.