ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පේරාදෙණිය රෝහලේදී තරුණියක මියගියේ අපේ වරදකින් නොවේ – රෝහල් අධ්‍යක්ෂවරයා කරුණු දක්වයි

උදරයේ ආබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්වූ පොත්තපිටිය ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණියට ලබා දිය යුතු සෑම ප්‍රතිකාර්යයක් ම ප්‍රමාදයකින් තොරව නිසියාකාරව ලබා දී තිබෙන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන් තිලකරත්න පවසයි.

මෙම රෝගියාට ලබා දී තිබෙන සෙෆ්ට්රිඇක්සෝන් නමැති ප්‍රතිජීවික ඖෂධය රෝහලේ නිතර භාවිතයට ගන්නා එකක් බව ත් පසුගිය කාලය තුළ එම එන්නත් කුප්පි 2,700කට අධික ගණනක් රෝහලේ ප්‍රතිකාර ගත් රෝගීන්ට ලබා දී තිබෙන බව ත් ඒ අතරින් කිසිවෙකු හෝ බරපතළ අසාත්මිකතාවයට ලක් නොවූ බව ත් ඒ මහතා කීය.

එක ම කාණ්ඩයට අයත් මෙම ඖෂධය ලංකාව පුරා රෝහල්වලින් රෝගීන්ට ලබා දෙන බව ත් මෙම ඖෂධය නිසා මරණය සිදුවූ බවට සැකයක් නොමැති බව ත් කී ඒ මහතා මෙය ඉතා ම කලාතුරකින් සිදුවන අසාත්සමිකතා කම්පනය (anaphylactic shock) හේතුවෙන් සිදුවූ මරණයක් බවට සැක කරන බව ද අවධාරණය කළේ ය.

රෝගියාගේ මරණය සම්බන්ධ පසුවිපරමේදී මෙම තත්ත්වය පෙනෙන්නට තිබෙන නමුත් පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් එය තහවුරු කළ නොහැකි යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ විවෘත තීන්දුවක් ලබා දී රුධිරය, පටක හා ආහාර සාම්පල පරීක්ෂණ සඳහා යොමු කර තිබෙන බව ද අධ්‍යක්ෂවරයා පැවසුවේ ය.

රෝගියා රෝහලට ඇතුළත් කළ මොහොතේ සිට සිදුකළ ප්‍රතිකාරවලට අදාළ වාර්තා සියල්ල එකින් එක පරීක්ෂා කර බැලූ බව ත් ඒ කිසිවක වැරදීමක් හෝ අධිමාත්‍රා ලබා දීමක් සිදුකර නොමැති බව ත් තිලකරත්න මහතා කීය.

එක් එක් පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පවතින යම් යම් වෙනස්කම් නිසා අසාත්මිකතා ඇති විය හැකි බව ත් ඖෂධය මෙතෙක් භාවිතයෙන් ඉවත් කර නොමැති බව ත් ඒ මහතා පැවසුවේ ය.

රෝගියාට වෛද්‍යවරුන් නිර්දේශ කළ එන්නත් මාත්‍රාව එකවර ලබා දීමට හැකි සිරින්ජර නොතිබූ බැවින් දෙවරකදී අදාළ මාත්‍රාව ලබා දී තිබෙන බව ත් එමගින් රෝගියාට කිසිදු බලපෑමක් ඇති නොවන බව ත් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය.

පළමු මාත්‍රාව ලබා දෙන අවස්ථාවේ රෝගියා අත රිදෙන බව ප්‍රකාශ කර තිබෙන නමුත් ඇය තුළින් අසාත්මිකතා ලක්ෂණ දක්නට ලැබී නොමැති බව ත් එම ලක්ෂණ දක්නට ලැබී ඇත්තේ, එන්නත් මාත්‍රාව සම්පූර්ණ කිරීම සඳහා දෙවන වර එන්නත ලබා දීමේ දී බව ත් ඔහු වැඩිදුරට ත් කීය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග අංශයේ ප්‍රධානී, මහචාර්ය උදය රළපනාව මහතා උදරාබාධයක් සමග වමනය සහ බඩඑළිය යාමේ තත්ත්වය සමග රෝහලට ඇතුළු කළ රෝගියාගේ ශරීර අභ්‍යන්තරයට ක්ෂුද්‍ර ජීවීන් මගින් ඇති කර තිබෙන බලපෑම කොයි ආකාර ද යන්න මැන බැලීමට සිදු කරන CPR අගය මෙම රෝගියාගේ 270ක පමණ අගයක තිබූ බව ත් සාමාන්‍ය තත්ත්වයේ පසුවන අයෙකු ගේ එම අගය තිබිය යුත්තේ 6ට අඩුවෙන් බව ත් පැවසුවේ ය.

ශරීරය තුළ බැක්ටීරියා ආසාදනයක ලකුණු තිබෙන අවස්ථාවක ප්‍රතිජීවික ඖෂධ නියම කරන බව ත් අදාළ ඖෂධ මාත්‍රාව හෙද සොහොයුරිය විසින් ලබා දෙනු ලැබ ඇත්තේ, ඒ අනුව බව ත් ඒ මහතා කීය.

දැඩි අසාත්මිකතාව නිසා ඇති වන කම්පනයක් නිසා මෙම දැරියගේ මරණය සිදුවන්නට ඇතැයි සැක කරන බව ද හෙතෙම පැවසුවේ ය.

“වෛද්‍යවරුන් වශයෙන් අපට අවශ්‍ය ඖෂධ අප ඖෂධ කමිටුව හරහා රෝහලට ගෙන්වා ගෙන භාවිත කිරීම සිදු කළ ත් එම ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි” බව ද මහාචාර්යවරයා පැවසීය.