ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

බදු බරට – ජීවන බරට – විදුලි බිලට එරෙහිව වෘත්තීය සමිති 40ක් අද වැඩ වර්ජනයේ

උපයන විට ගෙවන බදු සංශෝධන පනත ඇතුළු කාරණා රැසකට එරෙහිව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඒකාබද්ධව අද (මාර්තු 1) රට පුරා වැඩ වර්ජන සහ උද්ඝෝෂණ පැවැත්වීමට පියවර ගෙන ඇත.

ජීවන වියදම ඉහළ යාම, විදුලි බිල හා ණය පොලී වාරික ඉහළ දැමීම, ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මැතිවරණය කල් දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කොට ගනිමින් සෞඛ්‍ය, තෙල්, වරාය, විදුලිය, ජල යන ක්‍ෂේත්‍රවල වෘත්තීය සමිති 40කට වැඩි සංඛ්‍යාවක් මේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වීමට තීරණය කොට ඇත.

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ පැවසුවේ, අත්‍යවශ්‍ය සේවා ලෙස සේවා කිහිපයක් නම් කරමින් ගැසූ ගැසට් පත්‍ර සමග මිනිසුන් ජීවත් විය යුතු ආකාරය සම්බන්ධයෙන් වන ගැසට් පත්‍රයක් ද නිකුත් කළ යුතු බව ය.

වෘත්තීය සමිති නියම කළ අයුරින් ම අද උදැසන 7.00 සිට හෙට (මාර්තු 2) උදෑසන 7.00 දක්වා අඛණ්ඩව පැය 24ක් වැඩ වර්ජනයේ නිරත වන බව ද ඔහු කීය.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ලෙස අද දිනයේදී කළු විරෝධතාවක් ලෙස අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විරෝධතා දැක්වීමට තීරණය කළ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ‘මව්බිම’ට පැවසීය.

ලංකාව පුරා ම සියලු ගුරු – විදුහල්පතිවරු අද කළු පැහැ ඇඳුමින් සැරසී හෝ කළු පටි බැඳ සේවයට වාර්තා කරන බව ද පාසල්වල කළු කොඩි ප්‍රදර්ශනය කරමින් විරෝධය පළ කරන බව ද ඔහු සඳහන් කළේ ය.

ආණ්ඩුවේ මේ ක්‍රියා කලාපය තුළ මෙරට ජනතාවගේ ජීවත්වීමේ අයිතිය පවා අහිමි කොට ඇති බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසීය.

පාලකයන් තමන්ගේ නාස්තිකාර වියදම් ඒ අයුරින්ම පවත්වා ගෙන යද්දී තවත් ජනතාව මත බදු බර පටවමින් ඔවුන් පීඩාවට පත් කරන බවට ඔහු චෝදනා කළේ ය.

මේ හේතුවෙන් වැඩ කරන සමස්ත ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇතැයි ද හෙතෙම කීය.

රෝහල් තුළ අත්‍යවශ්‍ය ප්‍රතිකාර හැර අනෙකුත් කටයුතුවලින් ඉවත්වීමට වෛද්‍යවරුන් තීරණය කොට ඇතැයි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක ‘මව්බිම’ට පැවසීය.

හදිසි ප්‍රතිකාර ඒකක, මාතෘ රෝහල්, වකුගඩු හා පිළිකා රෝගී ඒකක ආදියෙහි කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වා ගෙන යන බව ද ඔහු කීය. වෛද්‍යවරුන් සියලු දෙනා ද කළු පටි පැලඳ සේවයේ නිරත වන බව හෙතෙම සඳහන් කළේ ය.

මේ වැඩවර්ජනය හේතුවෙන් රට තුළ යම් අර්බුදකාරී වාතාවරණයක් ඇති වුවහොත් එහි වගකීම තම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන ඛනිජ තෙල් ඇමතිවරයා භාර ගත යුතු යැයි ඛනිජ තෙල් නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න පැවසීය.

අනෙකුත් වෘත්තීය සමිතිවල වෘත්තීය ක්‍රියාමාර්ගවලට සහාය පළකරමින් ටෙලිකොම් සියලු සේවකයන් අද (මාර්තු 1) දහවල් ටෙලිකොම් ආයතනය ඉදිරිපිට විරෝධතාවක් දක්වන බව ශ්‍රී ලංකා ටෙලිකොම් සියලු විදුලි සන්දේශ සේවක සංගමයේ ලේකම් ජගත් ගුරුසිංහ ‘මව්බිම’ට පැවසීය.

අද දිනයේදී ක්‍රියාත්මක කෙරෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා පූර්ණ සහාය පළ කිරීමට තීරණය කළද සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිතියක් ලෙස කිසිදු අයුරකින් රෝගී සත්කාර සේවා බිඳ වැටීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ‘මව්බිම’ට පැවසීය.

දිවා විවේකයේදී රෝහල් ඉදිරිපිට විරෝධතා දැක්වීමට ද සැලසුම් කර ඇතැයි හෙතෙම කීය.

එමෙන් ම අත්‍යවශ්‍ය රාජකාරි සඳහා සේවයට වාර්තා කරන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පිරිස් කළු පටි පැළඳ සේවයේ නිරත වන බව ද ඔහු සඳහන් කළේ ය. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ම අද (මාර්තු 1) දිනයේදී වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට පූර්ණ සහය පළ කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බී.එච්.එස්.කේ. බන්නැහැක ‘මව්බිම’ට පැවසීය.

එමෙන් ම, වෘත්තීය සමිති ඒකාබද්ධව සංවිධානය කෙරෙන විරෝධතා උද්ඝෝෂණවලට තම සංගමයේ සාමාජිකයන් එක්වන බව ද ඔහු කීය.

වෘත්තීයවේදීන්ගේ මෙම වැඩ වර්ජන හා උද්ඝෝෂණවලට ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ද එක්වන බව එහි සෑම කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසීය.

හෙද කාර්ය මණ්ඩලය පැය හයක වැඩ වර්ජනයක් ද, රෝහල් කාර්ය මණ්ඩලය අද (මාර්තු 1) පෙරවරු 6.30 සිට හෙට (මාර්තු 2) පෙරවරු 6.30 දක්වා වැඩ වර්ජනය කිරීමට තීරණය කර තිබෙන බව ද සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පවසයි.

විදුලි ක්‍ෂේත්‍රයේ සියලු සේවකයන් එදිනට ලෙඩ නිවාඩු දැමීමට සූදානම් බව ලංවිම වෘත්තීය ඒකාබද්ධ සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසීය.

එමෙන් ම, වරායේ සියලු සේවා ද අඩාල වන බව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ පැවසීය.

මේ සඳහා වරාය වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත බව ද වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සඳහන් කළේ ය.

ඒ අනුව අද (01දා) වරායේ සියලු වැඩකටයුතු නවතා දමන බවද බහාලුම් මෙහෙයුම්, නැව් මෙහෙයුම් කටයුතු ඇතුළු සියලු දේ නවතා දමන බවද එම වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේය.

සෞඛ්‍ය සේවාව යනු අතිශය සංවේදී ක්‍ෂේත්‍රයක් වන අතර අද දිනයේ පැවැත්වෙන වෘත්තීය ක්‍රියාමාර්ග රෝගීන්ට අවම බලපෑමක් වන ලෙස සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.

මේ උද්ඝෝෂණ සඳහා සහභාගි වන සාමාජික වෛද්‍යවරුන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පූර්ණ වෘත්තීය සමිති රැකවරණය ලබාදෙන බව ද හෙතෙම කීය.

දිවයින පුරා අද සිදු කරන දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව ඛනිජ තෙල් සේවකයන් ද අකුරට වැඩ කිරීමට තීරණය කොට ඇති බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල ‘මව්බිම’ට පැවසීය.

ඒ අනුව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදාළව අද දින මධ්‍යහ්න 12.00ට කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිට විරෝධතාවක නිරත වන බවද ඔහු සඳහන් කළේ ය.

එසේ ම, මෙම වැඩ වර්ජනයට සමගාමීව ලංකා විදුලි බල මණ්ඩල ඉන්ජිනේරුවරුන් ඇතුළු සියලු සේවකයන් අද ලෙඩ නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා විදුලි ඉන්ජිනේරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉසුරු කස්තුරිරත්න ‘මව්බිම’ට පැවසීය. මෙම වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් විදුලි සැපයුම සඳහා කිසිදු බාධාවක් සිදු නොවීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවත් මේ හරහා ජනතාව පීඩාවට පත් කිරීමේ කිසිදු අරමුණක් නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙම වර්ජනය සඳහා සිය සහය ලබා දෙන බව මහ බැංකු වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. මේ හේතුවෙන් සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව, ව්‍යවහාර මුදල් කවුළු හා ප්‍රාදේශීය කාර්යාලවල වැඩ අඩාල වීමක් සිදු විය හැකි බව ද එම එකමුතුව පවසයි.

මේ අතර, ලංකා බැංකු සේවක සංගමය ද මෙම වර්ජනයට සහාය දක්වන බව එම සංගමය කියා සිටී.

මේ අතර වෘත්තීයවේදීන්ගේ විරෝධතා පැවැත්වෙන නමුත් දුම්රිය ඇතුළු බස් ප්‍රවාහනය සුපුරුදු පරිදි අද ක්‍රියාත්මක බව වෘත්තීය සමිති පවසයි. ලංකා ගමනාගමන මණ්ඩලය මේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට සහභාගි නොවන බව ත් සුපුරුදු පරිදි ධාවන කටයුතු සිදුකරන බවත් එහි විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් පැවසීය.

ජාතික විරෝධතා සඳහා ලංගම වෘත්තීය සමිති සහභාගි වන බවට දන්වා නොමැති බව ද ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ ය. දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවන කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුකරන බවත් දුම්රිය වෘත්තීය සමිති මේ සඳහා සහභාගි වන බවට වාර්තා කර නොමැති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ පැවසීය.

දුම්රිය ධාවනය සුපුරුදු පරිදි සිදුවන නමුත් වෘත්තීය සමිති ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර සඳහන් කළේ ය.

  • සවනි ශේශාධි, අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය, චාමර අමරසූරිය, මිතුන් ජයවර්ධන