2023 වසරේ දින දර්ශන සහ දිනපොත් මුද්‍රණය අඩුවෙයි
මෑත ඉතිහාසයේ දින දර්ශන සහ දිනපොත් ඉතා සීමිත සංඛ්‍යාවක් පමණක් මුද්‍රණය කළ වසර 2023 වසර බව දින දර්ශන සහ දිනපොත් මුද්‍රණකරුවෝ පවසති. මුද්‍රණකරුවන් කියා සිටියේ, වෙනත් වසරවල දිනපොත් සහ දින දර්ශන විවිධ අයුරින් නිර්මාණය කර මුද්‍රණය කර විශාල ඇණවුමක් ලැබුණු බව ත් රට තුළ පවතින කඩදාසි හිඟය සහ මුද්‍රණය සඳහා භාවිත කරනු ලබන තීන්ත වර්ගවල මිල ඉහළ යාම හමුවේ ඉකුත් වසරට සාපෙක්ෂව මේ වසරේ දින දර්ශනයක් සඳහා දින පොතක් මුද්‍රණය කිරීම සඳහා වියදම පස් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති නිසා ව්‍යාපාරික ප්‍රජාව 2023 වසරට දින දර්ශන සහ දින පොත් මුද්‍රණය කිරීම සඳහා ඇණවුම් ලබා නොදුන් බව ත් ය.
එමෙන් ම, විදුලි බිල ඉහළ යාම හේතුවෙන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ දින දර්ශන සහ දින පොත් මුද්‍රණය කිරීමේදී විශාල පිරිවැයක් දැරිමට සිදු වන බව ද ඔවුන් සඳහන් කළේ ය.
ඒ අනුව, 2023 වසරට දිනපොත් සහ දින දර්ශන මුද්‍රණය කිරීමට ඇණවුම් ලබා දුන් ඉතා සීමිත ව්‍යාපාරිකයන් පිරිසක් දිනපොත් සහ දින දර්ශන සීමිත ප්‍රමාණයක් මුද්‍රණය කරගත් බව එම පිරිස පැවසූහ.
වෙනත් වසරවල දිවයිනේ විවිධ ප්‍රධාන ව්‍යාපාරික සමාගම් සහ ව්‍යාපාරිකයන් විසින් වාර්ෂික දින දර්ශනය ඉතා විශාල ලෙස පිටු 12කින් මුද්‍රණය කර පාරිභෝගිකයන් ලබා දෙන බව ත් මේ වසරේ එම සමාගම්වලින් ඇතැම් ව්‍යාපාරික සමාගම් වාර්ෂික දින දර්ශනය පිටු හයකට සීමා කර මුද්‍රණය කර ඇති බව මුද්‍රණකරුවෝ පැවසූහ.
දිවයිනේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සිය ගණුදෙනුකරුවන්ට සැම වසරක ම දින දර්ශනයන් නොමිලේ ලබා දෙන අතර එම බැංකුවලින් ඇතැම් බැංකු මගින් 2023 වසරේ දින දර්ශනයක් සකස් කර එම දින දර්ශනය පාරිභෝගිකයන් සමාජ මාධ්‍ය ජාලා හරහා යොමු කර ඇත.