ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

තඹුත්තේගම කෝටි දෙකේ බැංකු කොල්ලය සැලසුම් කල පොහොට්ටු මන්ත්‍රීවරයා අත්අඩංගුවට

ඊයේ (26) දින තඹුත්තේගම බැංකුව කොල්ල කෑමට තැත් කිරීමේ සිද්ධියේ මහ මොළකරු ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ප්‍රබලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ත වේ.

ඊයේ දහවල් තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට උත්සාහ ගැනීමේ සිද්ධියට අදාළව මෙම පොහොට්ටුවේ ප්‍රබලයා අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු මෙම මංකොල්ලට සැලසුම් කල පුද්ගලයා බවද පොලීසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජාංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු බවටය. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.

පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන ආ රුපියල් ලක්ෂ 223ක මුදලක් පැහැරගෙන යාමේ තැතක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට තඹුත්තේගම පොලීසියේ සැරයන්වරයකු ඊයේ (26) සමත්විය.

ඒ එම කොල්ලයට පැමිණි ආයුධ සන්නද්ධ සැකකරුවන් දෙදෙනා සමග පොර බදා සාර්ථකව ඔවුන් මෙල්ලකරගැනීමට කටයුතු කිරීමෙනි.

තඹුත්තේගම නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක මුදල් තැන්පත්කිරීමට එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සිය මෝටර් රථයෙන් පැමිණ තිබුණේ ඊයේ දහවල් 2.00ට පමණය.

ව්‍යාපාරිකයා බැංකුවේ පිවිසුම ඉදිරියේ රථය නවත්වා තම මුදල් සහිත බෑගය රැගෙන ඉන් බසින අවස්ථාවේ එතැනට යතුරුපැදියක නැගුණු පුද්ගලයන් දෙදෙනකු පැමිණ තිබේ.

ඔවුන් සිය ගිනි අවියෙන් ව්‍යාපාරිකයාට පහරදී ඔහු අත තිබූ මුදල් සහිත බෑගය පැහැරගෙන නැවතත් පලායාමට සැලසුම් කර තිබුණි.

ව්‍යාපාරිකයා බිම ඇදවැටුණු අවස්ථාවේ බැංකුවේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ඔහුව වහාම ආරක්ෂාව පිණිස බැංකු ගොඩනැගිල්ල තුළට ගනු ලැබූ අතර කොල්ලකරුවන් එතැනින් පලායාමට කටයුතු කර තිබේ.

එම අවස්ථාවේ බෑගයේ තිබූ මුදල් මිටි කිහිපයක් මාර්ගය අසළ බිම වැටී ඇති අතර එය යතුරුපැදියක නැගී එතැනින් ගමන්ගනිමින් සිටි පොලිස් නිලධාරියකුගේ නෙත ගැටී ඇත.

ඔහු ඒ ගැන විමසිලිමත්වීමේදී කාන්තාවක් කෑ ගසා පවසා ඇත්තේ මුදල් කොල්ලයක් සිදුවන බවය.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා කොල්ලකරුවන් දෙදෙනා හඹා ගොස් ඔවුන් පලා යාම වැළැක්වීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ එක් කොල්ලකරුවකු සිය ගිනිඅවිය පොලිස් නිලධාරියාගේ පපුව වෙත එල්ල කර ඇතත් නිලධාරියා ඔහුට පහර දී එය වළක්වා ගැනීමට සමත්ව විය.

ඒ අනුව කොල්ලකරුවන් දෙදෙනාගේ පලායාමේ ප්‍රයත්නය අඩපණ වී ඇති අතර පොලිස් නිලධාරියා ඔවුන් සමග පොර බදින්නට පටන් ගෙන ඇත.

මෙහිදී අවට සිටි පිරිස්ද ඔහුගේ සහායට පැමිණීම නිසා කොල්ලකරුවන්ව කොටුකර ගත හැකිවිය.

48 හැවිරිදි හා 50 හැවිරිදි වියේ පසු වූ සැකකරුවන් දෙදෙනා එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් සතුව තිබූ බෝර 12 ගිනි අවියක් , බෝර 12 පතොරමක්  හා මන්නා පිහියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ඒ අනුව, රුපියල් ලක්ෂ 223 ක මංකොල්ලයක් ඉතා සාර්ථකව වළක්වාගැනීමට හැකිවිය.

මෙලෙස අවදානම නොතකා නිර්භයව පියවර ගනිමින් මහා මංකොල්ලය වැළැක්වූයේ තඹුත්තේගම පොලිසියේ විවිධ පැමිණිලි අංශයට අනියුක්තව සේවය කරන 42313 අංකය දරණ පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතාය.

බුද්ධික කුමාර වැනි නිර්භීත පොලිස් නිලධාරීන් සමස්ත පොලිස් සේවාවටම ගෞරවයක් සහ රටටද අභිමානයකි.