“වසර 7ක් යනතුරු රන්ජන්ට මැතිවරණවලට තරග කරන්න බෑ” – අධිකරණ ඇමති
ජනාධිපති සමාව හිමි වූ හිටපු පාරිලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට වසර 7ක් යනතුරු මැතිවරණ සඳහා තරග කළ නොහැකි බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රාමනායක මහතාට පූර්ණ නිදහස හිමි වී නොමැති බව ය.
කෙසේ වෙතත්, අවශ්‍ය අවස්ථාවකදී මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට රන්ජන් රාමනායක මහතාට ඉඩ ලබා දිය හැකි බව ඔහු පැවසීය.
“දැනට දීපු විදිහට බැහැ. අවුරුදු 7ක් යනකම් නීතිය අනුව බැහැ. ඒක ඉතින් අවශ්‍ය අවස්ථාවකදී ඉදිරියේදී දෙන්න පුළුවන්. ෆීල්ඩ් මාෂල්ටත් දුන්නේ එහෙම අවස්ථා දෙකකදී නේ. ඉස්සෙල්ලා දඬුවම අහෝසි කරනවා. ඊට පස්සේ පූර්ණ නිදහස දෙනවා.”
රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දී ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය යටතේ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
“සලකා බැලෙයි අනිවාර්යයෙන් ම (මැතිවරණවලට ඉදිරිපත් වීමේ අයිතිය). මොකද මේක අධිකරණය එක්ක තිබුණු ප්‍රශ්නයක් නිසා තමයි අදියරයෙන් අදියර කරන්න වෙන්නේ.”
මේ අතර, ඊයේ (අගෝ. 26) පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ, රන්ජන් රාමනායක මහතාට ලැබී ඇත්තේ අර්ධ නිදහසක් බව ත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) (ඈ) වගන්තිය යටතේ ලබා දී ඇති බව ත් ය.