රනිල් සමග සර්ව පාක්ෂික ආණ්ඩු පිළිබඳව සාකච්ජාවට නොයන්න ජවිපෙ තීන්දු කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සර්ව පාක්ෂික ආණ්ඩු වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීම සදහා හෙට පැවැත්වීමට නියමිත හමුවට සහභාගී නොවීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
ඒ වෙනුවට එම පක්ෂය ජනාධිපතිවරයා වෙත ලිඛිත යෝජනා ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මේ අතර අද (08) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය දැක්වීම හෝ ඊට එක් වීමට අදහස් නොකරන බවයි.
“ජනාධිපතිතුමා ආණ්ඩුවක් පත් කරලා ඉවරයි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරලා තියෙන තේරුම මොකක්ද? අන්තර්වාර ආණ්ඩුවක් ගැන එතුමාගේ කතා ඉවරයි,” ඔහු පෙන්වා දුන්නේය.
නුදුරේදීම මැතිවරණයක් කැඳවිය හැකි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා අදහස් නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.
“ඔහු පිහිටුවීමට අදහස් කරන සර්ව පාක්ෂික ආණ්ඩුව ඔහුගේ බලය ශක්තිමත් කරන එකක් බවත් ණය ලබා ගැනීමට ජාත්‍යන්තර විශ්වාසය දිනා ගන්නා එකක් බවත් පැහැදිලියි” හඳුන්නෙත්ති මහතා පැවසීය.