බණ්ඩාරගම රසායනාගාරයකදී සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු එකවර සිහිසුන්ව ඇද වැටිලා
බණ්ඩාරගම නගරයේ පෞද්ගලික රසායනාගාරයක සිහිසුන්ව අද වැටුණු සාත්තු සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු රෝහල්ගත කළ බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
අප වාර්තාකරු සඳහන් කළේ, අද (මාර්තු 17) පස්වරු දෙකයි තිහට පමණ රසායනාගාරයේ උඩු මහලේ පරීක්ෂණාගාරයක් තුළ සිටි පුද්ගලයෙක් සහ යාබද කාමරයේ ආහාර ගනිමින් සිටි සාත්තු සේවිකාවන් දෙදෙනෙකු මෙලෙස සිහිසුන්ව ඇද වැටී ඇති බව ය.
බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් පැමිණ සිහිසුන්ව සිටි එම තිදෙනා ගිලන් රථයකින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
අප වාර්තාකරු සඳහන් කළේ, එම තිදෙනා සිහිසුන් වන අවස්ථාවේ දී විදුලි උත්පාදක යන්ත්‍රය ක්‍රියාත්මක වෙමින් තිබී ඇති බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ය.
අනතුරුව බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් රසායනාගාරයේ උඩුමහලට ගොස් පරීක්ෂා කර ඇත.
අප වාර්තාකරු සඳහන් කළේ, විදුලි උත්පාදක යන්ත්‍ර තිබූ කාමරයේ වායු පිටවීම සඳහා කිසිදු සුළං කවුළුවක් ස්ථාපනය කර නොතිබූ බවට අනාවරණය ඇති බව ය.
පරීක්ෂණාගාරයට සහ යාබද කාමරයට මුද්‍රා තැබීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන අථිඅ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් කැඳවීමට නියමිත බව අප වාර්තාකරු පැවසීය.
බණ්ඩාරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.