කැබිනට් ඇමති ධූරවලින් නෙරපූ විමල් – ගම්මන්පිල ජනපතිට ප්‍රතිචාර දක්වති
අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඒ සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.
තමා අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යොමු කරනු ලැබ ඇති ලිපිය ද පළ කරමින් ඔහු එහි “ස්තුතියි” යනුවෙන් සඳහන් කර ඇත.
අදාළ සටහන පහතින් දැක්වේ.
මේ අතර, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“ජනාධිපතිතුමා මාව ජනතාවගේ ඔඩොක්කුවට විසි කරලා තියෙන්නේ. මට දැන් ජනතාව එක්ක නැගී සිටින්න පුළුවන්.”
අද (මාර්තු 3) සිදු කළ නව කැබිනට් සංශෝධනයේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාට කැබිනට් අමාත්‍ය ධූර අහිමි විය.
ඒ අනුව, විමල් වීරවංශ මහතා දැරූ කර්මාන්ත අමාත්‍ය ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් එස්.බී. දිසානායක මහතා පත් කරනු ලැබූ අතර උදය ගම්මන්පිල මහතා දැරූ බලශක්ති අමාත්‍ය ධූරය සඳහා ගාමිණී ලොකුගේ මහතා පත් කරනු ලැබී ය.