ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

චමුදිතගේ නිවසට එල්ල වූ අසූචි ප්‍රහාරය කටඋත්තර දෙන්න පුෂ්පිකා අද පොලිසි එන්න බෑ කියලා

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කිරුළ අහිමු වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා මහත්මියට අද (පෙබ.  23) පිළියන්දල පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්න ද ඇය ඒ සඳහා නොපැමිණි බව පොලිසිය පවසයි. 

අප වාර්තාකරු සඳහන් කළේ, ඇය වෙනුවෙන් නීතිඥ සරිත් පතිරත්න මහතා පොලිසිය වෙත පැමිණ ස්ථානාධිපතිවරයා හමු වූ බව ය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඔහු මෙලෙස ප්‍රකාශ කළේ ය.

“චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අද දින පුෂ්පිකා ද සිල්වා මහත්මියට පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. අද දින එතුමියට පැමිණීමට අපහසුතාවක් තිබෙනවා. 

එයට හේතුව චන්දිමාල් ජයසිංහ මහත්මාට විරුද්ධව අපරාධ නඩු කටයුත්තක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයෙකු සමග නීතිඥ හමුවක් අද දිනයේ පැවැත්වෙන බැවින් ඒ සඳහා ඇය සහභාගි වන බව පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දුන්නා.

ඒ අනුව, මෙම ප්‍රකාශය ලබා දීම සඳහා මෙම මස 28 වන දින පෙරවරු 10.00ට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස එතුමියට දින ලබා දෙනු ලැබුවා.”

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල නිවසට ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් දන්නා තොරතුරු ඇතොත් ඒවා ලබා ගැනීම සඳහා කිරුළ අහිමි වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා මහත්මිය අද (පෙබ. 23)  පෙ.ව. 10.00ට පිළියන්දල පොලිසිය වෙත කැඳවා තිබිණි.

හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ම, චමුදිත සමරවික්‍රම මහතා විසින් මෙහෙයවනු ලබන යූ ටියුබ් සම්මුඛ සාකච්ඡාවකට පසුගිය දා සහභාගී වී තිබුණු අතර එහිදී ඇය ඇතැම් ආන්දෝලනාත්මක කරුණු ඉදිරිපත් කර තිබුණු බවට සමාජ මාධ්‍යවල අදහස් පළ විය.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපේ ජන බල පක්ෂයේ සභාපති සමන්ත ප්‍රසන්න පෙරේරා මහතා ද පෙබ. 18 වන දා පිළියන්දල පොලිසියට කැඳවා තිබිණි.

මාධ්‍යවේදී චමුදිත මහතා පදිංචි පිළියන්දල පිහිටි නිවසට පෙබරවාරි 14 වන දා අලුයම ගල් සහ අසූචි ප්‍රහාර එල්ල කර තිබිණි.