ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

”මහින්දගේ ගිණුමෙන් කෝටි ගාණක් අහිමි වීම මහා ජලාශයකින් දිය දෝතක් ගත්තා වගේ” – අනුර

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය බැංකු ගිණුමෙන් කෝටි ගණනක මුදලක් අතුරුදන් වන විට පවා “දැනෙන්නේ නැත්නම්” ඔහු සතුව කොපමණ ධනයක් ඇති දැයි ජනතා විමුක්ති පෙරුමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විමස යි.

පසුගිය දිනවල වාර්තා වූ පරිදි  2005 වර්ෂයේ සිට මහින්ද රාජපක්ෂ මහතාගේ වැටුප් ඒකරාශී වී කෝටි පහකට ආසන්න මුදලක් බැංකු ගිණුමක තිබී එම මුදල් ඔහුගේ ලේකම්වරයෙකු විසින් ලබාගෙන ඇති බවට වන සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අවිස්සාවේල්ල නගරයේ පැවති ව්‍යාපාරික හමුවකට එක්වෙමිනි.

“මහින්ද මහත්තයාගේ 2005 ඉඳන් ජනාධිපති වැටුප එකතු කරලා එකතු කරලා ගිණුමේ දාලා. ඒ ගිණුමේ දැම්මා විතරක් නොවේ ඒ ගිණුම අමතක වෙලා. මෑතකදී පොත හම්බ වෙලා.  හම්බුණා ම මේක අප්ඩේට් කරන්න ඕනේ කියලා මේක බැංකුවට යවලා. පොතේ ලියන්න. යවන කොට තමයි සල්ලි නැති බව දන්නේ. වාර්තා වෙනවා කෝටි 4ක් 4 1/2කට ආසන්න මුදලක් ඔහු ළඟ හිටපු උදිත ලොකු බණ්ඩාර පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා හොරකම් කරලා කියලා. ඒටීඑම් කාඩ්පතක් හදලා මාස් පතා ඇදලා. තමන්ගේ ගිණුමකින් කෝටි ගාණක් මුදල් අතුරුදහන් වෙනකොට ත් දැනෙන්නේ නැත්නම් කොච්චර ධනයක් ඇත්ද?”

ඔහු සඳහන් කළේ, කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් අච්චු ගැසීම හේතුවෙන් රටේ භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යමින් පවතින අතරේ ණයක් ගැනීම ත් ණයක් ගෙවීම ත් මගින් පමණක් රටේ ආර්ථිකය පිළිබඳව සතුටු වෙන්නට සිදුව ඇති බව ය.

“මේ විපත්තිය ඇති කළේ දේශපාලනය විසින් නම් අපි කැමති වුණ ත් අකමැති වුණ ත් මේකෙන් ගොඩ එන්න ඕනේ දේශපාලනයෙන්. ළිඳට වැටුණේ ළිං කටින් නම් ගොඩ එන්න තියෙන්නේ ත් ළිං කටින්. සමහර අය කල්පනා කරනවා මේකට තියෙන උත්තරය තමයි රට අත්හැරලා යන එක. එහෙම නැත්නම් රනිල් මහත්තයා තමයි අප්සට්. හැබැයි සජිත් නම් දුප්පතාගේ හිතවතාගේ පුතා. ඔය වගේ ඇති තරම් විවිධ වර්ගයේ මුහුණු නායකයින් මේ රටේ ජනතාව පත් කරලා තියෙනවා ආණ්ඩුවලට. හැබැයි ප්‍රතිඵලයත් ලැබී නෑ.”