ගල්කිස්ස සහ කන්කසන්තුරේ අතර නව සුඛෝපභෝගී දුම්රිය සේවාවක්
ගල්කිස්ස සහ කන්කසන්තුරේ දක්වා ගමන් ගන්නා මගීන්ට සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී දුම්රිය සේවාවක් අද (ජන. 9) පෙරවරුවේ සිට ආරම්භ කර තිබේ.
මෙම දුම්රිය සෑම දිනක ම ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 5.10ට ආරම්භ කොට දහවල් 12.17වන විට කන්කසන්තුරය දුම්රිය ස්ථානය දක්වා ත් එදින ම පෙරවරු 1.15ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් ආරම්භ කොට රාත්‍රී 8.25 වන විට ගල්කිස්ස දුම්රිය ස්ථානය දක්වාත් පැමිණීමට ධාවන කාල සටහන සකසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මිලදීගත් මෙම දුම්රියේ වටිනාකම රුපියල් මිලියන 2,500ක් වන අතර දුම්රිය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සකසා ඇත.
දුම්රිය සේවාවේ මංගල ගමන ආරම්භ කිරීම ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස දුම්රිය ස්ථානයේදී සිදු කෙරිණි.
මෙම දුම්රිය ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය, කොටුව, පොල්ගහවෙල, කුරුණෑගල, අනුරාධපුරය, වව්නියාව, කිලිනොච්චිය, කොඩිකාමම්, යාපනය, කොණ්ඩාවිල්, චුන්නාකම් සහ කන්කසන්තුරය යන දුම්රිය ස්ථානවල නවත්වයි.
දුම්රිය සේවාව ලබා ගැනීමට බලාපොරොත්තු වන මගීන් හට මසකට පෙර සිට ජාලගත ක්‍රමයට ඊ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට හැකි ය.මෙහි ප්‍රවේශපත්‍රයක මිල ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා රු.1700, ගල්කිස්සේ සිට වව්නියාව රු.1500, ගල්කිස්සේ සිට අනුරාධපුරය දක්වා රු.1200කි
