ගම්පහ වියත්මගේ ලොක්කා ව්‍යාපෘති රැසකින් මිලියන ගණනින් ගසා කෑ හැටි මෙන්න
අපේ රටේ දේශපාලනඥයින්ගෙන් බහුතරය නූගතුන් බව පිළිගැනීමයි. එහෙත් උගත් හෝ නූගත් බව දේශපාලනයේ පාරිශුද්ධත්වයට එතරම් බලපෑමක් ඇති නොකරයි. ජනතාව අපේක්ෂා කරන මේ රට ගොඩනැගිය හැකි පිරිසිදු දේශපාලනයක් සඳහා උත්තේජනයක් සැපයිය හැක්කේ රට හා ජනතාව පිළිබඳව සැබෑ ආදරයක් ඇති රට වෙනුවෙන් අවංකව කැපකිරීම් කළ හැකි පුද්ගලයාට පමණි. අපේ දේශපාලකයා තමාගේ උගත්භාවය පවා පාවිච්චි කරනුයේ සොරකම්, වංචාවන් පවා තම උගත්කම භාවිතයෙන් ආවරණය කරගනු පිණිස පමණි.
දේශපාලනය ක්‍රීඩාවකි. අපේ රටේ දේශපාලනඥයින්ගේ පැටිකිරිය ටෙස්ට් ක්‍රිකට් තරගයකට සමානය. බලයට පත් පිරිස ආණ්ඩුව ලෙස පෙනී සිටිමින් තරගයේ පළමු ඉණිමම ක්‍රීඩා කරති. පන්දු යැවීමටත් වඩා පහරදීමටම උනන්දුවක් දක්වන ‘විපක්ෂය’ නම් කණ්ඩායම පසුව බලයට පත්වී තම ඉණිම ක්‍රීඩා කරති. පුදුමයට කරුණ නම් කොතරම් ක්‍රීඩා කළ ද තරගයේ පරාජිතයෙකු නොමැති වීමයි. දෙපිලේම ක්‍රීඩකයෝ ජයග්‍රාහකයෝ වෙති. පරාජය වන්නේ තරගය පැවැත්වීමට පිටිය සකසා දී එය නරඹන පිරිස හෙවත් මහජනතාවය.
‘යහපාලන’ කණ්ඩායමේ ඉණිම තුළ සියලු දෙනා දැවී බැඳුම්කර වංචාව හරහා රැස්කළ ලකුණු සංඛ්‍යාව රුපියල් බිලියන 1000 කට වැඩිය. එහි හොරු අල්ලන්නට යැයි කියා පැමිණි ‘වියතුන්ගේ’ කණ්ඩායමේ ක්‍රීඩකයන් කිසිවෙකු නොදැවී සීනි බදු වංචාව හරහා පමණක් රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව රුපියල් කෝටි 15900 කි. තම දෙවැනි ඉණිම ක්‍රීඩා කරන්නට පැමිණීමට නියමිතව සිටින පිළ තවත් ලකුණු රැස් කිරීමේ අරමුණින් පිටියට පිවිසීමට නියමිතය.
ක්‍රිකට් තරගයක හා මෙවැනි දේශපාලන තරගයක ඇති වෙනස වන්නේ රට වෙනුවෙන් ඇති ලකුණු පුවරුවේ ලකුණු සටහන් වීම වෙනුවට දේශපාලන ක්‍රීඩකයින්ගේ පෞද්ගලික ගිණුමේ ලකුණු සටහන් වීමයි. යහපාලනය ගෙදර යවා වියතුන් කැඳවීම ‘කැහි ගෑනි වෙනුවට හොටු ගෑනි’ තෝරා ගැනීමක් යැයි හිතෙන්නේ වියතුන් ලෙස පැමිණ බලයට පත්වූ පසුව ද රටේ සිදුවන දූෂණ, වංචාවල තරම පෙනෙන විටය.
වියත්මගේ නාලක ගොඩහේවා ද දූෂණ, වංචාවලට දැඩි ලෙස එරෙහි බව පෙන්වමින් වියතුන් රට පාලනය භාරගත යුතු බවට දැඩි ස්ථාවරයක සිටි අයෙකි. එහෙත් දේශපාලනයට පැමිණීමට පෙර විනිමය හා සුරැකුම්පත් කොමිසමේ ප්‍රධානියා වූ නාලක ගොඩහේවා විශාල වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි. තමා උපන් දිස්ත්‍රික්කයෙන් නොව පිට දිස්ත්‍රික්කයකින් පසුගිය මහ මැතිවරණයට තරග වැදීමට නාලක ගොඩහේවාට නාමයෝජනා ලැබිණි. දේශපාලනඥයා තරග වැදීමට පෙර දිස්ත්‍රික්කයේ එක කෝරළයක නම සඳහන් යම් සංවිධානයක් ද ඇති කළේය. ඒ සඳහා තරුණ පිරිස් විශාල ලෙස රොක් වූහ.
මැතිවරණය ළංවත්ම දිස්ත්‍රික්කයේ බොහෝ නිවාසවල මෙම දේශපාලනඥයා කුඩා රැස්වීම් තැබුවේය. රැස්වීමට පැමිණි සියලු දෙනාගේ ජංගම දුරකතනය හරහා ‘කණ්ඩායම්’ ක්‍රමයක් ද නිර්මාණය කළේ ඉදිරියේදී සිදුකිරීමට නියමිත දැවැන්ත ජනතා සේවය පුළුල් කරනු පිණිසය. ‘මේ දිස්ත්‍රික්කයට පසුගිය වසර 70 තුළම සාධාරණයක් ඉටු වී නැහැ. මම එය මනාව තේරුම් අරගෙන තියෙනවා. ඒ ඉටුනොවූ සාධාරණය මා නොපිරිහෙලා ඉටුකරනවා’ යැයි කී වියත්මගේ නාලක ගොඩහේවා තරුණ පරපුර වෙනුවෙන් දැවැන්ත කාර්ය භාරයක් ඉටුකිරීමටත්, මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවත් එම නිවසේම මෙවැනිම රැස්වීමක් තබන බවටත් පොරොන්දු විය.
මැතිවරණයෙන් ඔහු විශිෂ්ට ජයක් ලද්දේ දිස්ත්‍රික්කයේ අනෙකුත් අපේක්ෂකයින් ද අන්දමන්ද කරවමිනි. ‘අපේ ඇමැතිතුමා වැඩ පෙන්වාවි යැයි ජනතාව අමන්දානන්දයට පත්වූහ. ජයග්‍රහණයෙන් පසුව දේශපාලනඥයාට වගකිවයුතු තනතුරක් ද ලැබිණි.
ජය හා තනතුරු ලබා වසර එකහමාරකට වඩා කාලයක් ගෙවී තිබුණ ද රැස්වීම් පවත්වන ලද කිසිම නිවසකට ඔහු යළි ගියේ නැත. දුරකතනය හරහා ඇතිකළ කණ්ඩායම් ක්‍රමය ද එතැනින්ම නතර විය. එහෙත් තම මඩිය තරකර ගැනීමේ ක්‍රියාවලිය මුලදීම පටන්ගත් නාලක ගොඩහේවා අදටත් එය අතිසාර්ථකව පවත්වාගෙන යයි.
නාලක ගොඩහේවා ලැබුණු තනතුර අනුව යහමින් මුදල් ගලා එන ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කෙරිණි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය වන ව්‍යාපෘති ඒ අතර ප්‍රධාන විය. රටේ ඇති වී ඇති උග්‍ර ජීවන වියදම් ප්‍රශ්නය හමුවේ ජනතාවට ‘පාන්’ කියා ගන්නට නොහැකිව සිටියදී දේශපාලනඥයා කළේ ජනතාවට අත්‍යවශ්‍ය නොවන එවැනි ව්‍යාපෘතීන්ය. දේශපාලනඥයා බලයට පත්වූ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයකට ආසන්නව ඇති මීට වසර කීපයකට පෙර ඉදිකළ එවැනි ව්‍යාපෘතියක් කඩා බිඳ දමා අලුතින් ඉදිකරන්නට තීරණය කළේ වියදම ලෙස රුපියල් කෝටි හයක් පමණ වැය කරමිනි. නමුත් බැලූ බැල්මට සැබෑ වියදම ලෙස රුපියල් කෝටි දෙකක් ඒ සඳහා හොඳටම ප්‍රමාණවත්ය. ඉතිරි මුදල නාලක ගොඩහේවාටය.
එම නගරයේම මැදින් වැටී ඇති මීටර් තුන්සියයක පමණ දිගින් වූ මාර්ගයක දෙපස හොඳින් අතුරා තිබූ කොන්ක්‍රීට් කැබලි කඩා බිඳ දමා මාර්ගය දෙපස අලුතින් කොන්ක්‍රීට් කැට ඇතිරුවේද දේශපාලනඥයාගේ මැදිහත් වීමෙනි. ඊට වැය වූ මුදල රුපියල් මිලියන 30 කි. එහෙත් කොන්ක්‍රීට් ගඩොල් කැට පමණක් අල්ලා ඇති එම ව්‍යාපෘතියේ සැබෑ වියදම මිලියන 10 නොඉක්ම වන බව ළදරුවකුට වුවද වැටහෙන සත්‍යයකි. එම නගරයේම දැනට ක්‍රියාත්මක වෙමින් පවතින මහා ව්‍යාපෘතියක් ද නාලක ගොඩහේවා ආරම්භ කර ඇති අතර ඉන් ගසා කෑ හැකි මුදල ඔහුගේ හත්මුතු පරම්පරාවකටම සෑහේ.
පසුගිය කාලයේදී රටේ ආන්දෝලනයකට තුඩුදුන් මහා පරිසර විනාශයකදී දේශපාලනඥයාගේ විෂයට අයත් ආයතනයක්ද ඒ පරිසර හානියට ඍජුවම වගකිවයුතුය. නමුත් එම හානියට වන්දි ලෙස මහජනයාට ලැබිය යුතු අධික මුදල් සම්භාරයකින් කොටසක් ද මෙම වියත්මගේ නාලක ගොඩහේවාගේ සාක්කුවට ගිය බව ද සැලකේ.
නැසීගිය මහා කලාකරුවකුට උපහාර පිණිස එම දිස්ත්‍රික්කයේම ඉදිකළ ව්‍යාපෘතියකින්ද මොහු මහා මුදලක් ගසා කෑවේය. වර්ග අඩි 1500 ක පමණ කොන්ක්‍රීට් ගල් අල්ලා රාත්‍රියට ආලෝකකරණය කර ඇති මෙම කාර්ය සඳහා අධික මුදලක් වියදම ලෙස පෙන්වා විශාල මුදලක් ගසා කෑම ඒ මහා කලාකරුට සිදුකළ අපකීර්තියක් බව ද ජනතාවගේ අදහසයි.
ජනතාවට අත්‍යවශ්‍ය නොවන තවත් අලුත් ව්‍යාපෘති කිහිපයක්ම වියත්මගේ නාලක ගොඩහේවා විසින් දිස්ත්‍රික්කය පුරා ආරම්භ කර ඇති අතර ජනතාවට අවශ්‍ය නොවුවද ඒවා තමාගේ මඩිය තරකර ගැනීම පිණිස අත්‍යවශ්‍ය ඒවා බව දේශපාලනඥයා දනී. එම නිසාම එවැනි ගසාකෑමේ ව්‍යාපෘති තව තවත් වැඩිකර ගනිමින් ඔහු තමන්ගේ ‘ඉණිම’ තුළ ඉහළ ලකුණු ගණනක් වාර්තා කරගනිමින් සිටියි.
මේ සියලු චෝදනා සත්‍යයක් බවට පත්කරමින් නාලක ගොඩහේවා තමන්ගේ නවීනතම නිවස දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය ආසන්නයේ ඉදිකරමින් සිටියි. එම ඉදිකිරීම් මේ වන විට පවතින්නේ අවසන් අදියරේය. එළඹෙන නව වසර මුලදී එහි පදිංචි වීම ඔහුගේ ඉලක්කයයි. වෙන්දේසි ඉඩමක් වූ මෙහි බිම් කොටස් අළෙවි වීම ප්‍රමාද වූයේ පානීය ජල පහසුකම නොමැති බැවිනි.
එහෙත් නාලක ගොඩහේවා ඉන් බිම් කොටස් හයක් පමණ එකවර රැගෙන එම ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි ජලනළ පහසුකම ලබා ගත්තේය. ඉතා කෙටි කලකින් ඉදිකිරීම් නිමකළ මෙම ස්ථානයට අමුද්‍රව්‍ය සැපයීම පවා කළේ රජයේ වාහනවලින් ගෙන ආ රජයට අයත් ද්‍රව්‍යයවලින් බව ද කියැවේ. මේ නව ඉදිකිරීම නිසා මෙතෙක් තම කාර්යාලය පවත්වා ගෙන ආ ප්‍රදේශයේ වෙනත් දේශපාලනඥයකුට අයත් සුඛෝපභෝගී නිවසට ගෙවූ රුපියල් ලක්ෂ ගණනක මාසික කුලිය ද දේශපාලනඥයාට ඉතිරි කරගත හැකිය.
කෙසේ වෙතත් මහා අපේක්ෂා තබමින් දිස්ත්‍රික්කයේ ජනතාව ඔහු කෙරෙහි තැබූ බලාපොරොත්තු අද වන විට සුන්ව ගොසිනි. අපේක්ෂා භංගත්වයට පත් වැඩිම තරුණ පිරිසක් පිටරටට යන්නට සැරසෙන්නේ ද මේ දිස්ත්‍රික්කයෙනි. කෙසේ වෙතත් මේ නාලක ගොඩහේවාට ඡන්දය දුන් ජනතාව අද වන විට සිටින්නේ ඔහුට ශාප කරමිනි.
අපේ රටේ දේශපාලනඥයින්ගෙන් බහුතරය නූගතුන් බව පිළිගැනීමයි. එහෙත් උගත් හෝ නූගත් බව දේශපාලනයේ පාරිශුද්ධත්වයට එතරම් බලපෑමක් ඇති නොකරයි. ජනතාව අපේක්ෂා කරන මේ රට ගොඩනැගිය හැකි පිරිසිදු දේශපාලනයක් සඳහා උත්තේජනයක් සැපයිය හැක්කේ රට හා ජනතාව පිළිබඳව සැබෑ ආදරයක් ඇති රට වෙනුවෙන් අවංකව කැපකිරීම් කළ හැකි පුද්ගලයාට පමණි. නාලක ගොඩහේවා තමාගේ උගත්භාවය පවා පාවිච්චි කරනුයේ සොරකම්, වංචාවන් පවා තම උගත්කම භාවිතයෙන් ආවරණය කරගනු පිණිස පමණි. උගත්, නූගත් භේදයකින් තොරව සමස්ත දේශපාලනඥයින් විසින් කරනු ලබන වංචා දූෂණවලට තිත තබාලීමටම හැකියාව ඇති අයෙකු වේ නම් ඔහු උගතෙකුටත් වඩා ‘සමතෙකු’ ලෙස පෙන්වා දිය හැකිය.
(උපුටා ගැනීම – ලංකාදීප පුවත්පත)