ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSliderSports

‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ වගකීම මහේල බාර ගනී

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා පත් කර තිබේ.  නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, 2022 ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක එම පත්වීම වසරක කාලයක් සඳහා බල පැවැත්වෙනු ඇති බව ය.

ලොව අංක එකේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැළකුණු මහේල ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමෙන් අනතුරුව ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස ලොව ක්‍රිකට් ලීග ගණනාවක ප්‍රතිඵල පෙන් වූ පුහුණුකරුවෙක්.

විශේෂයෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස මහේල ඉටු කළ කාර්ය භාරය ලොව ක්‍රිකට් කණ්ඩායම් සහ පාළනාධිකාරි අතර දැඩි ලෙස කතාබහට ලක් වුණා.

අරවින්ද ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණ කමිටුවේ ඉල්ලීම මත මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස වසරක කාලයක් කටයුතු කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ අනුව, ඔහු මෙම නව පත්වීම යටතේ ජාතික පිරිමි කණ්ඩායම හැරුණු කොට සෙසු සියලු ම ජාතික කණ්ඩායම්වල ක්‍රිකට් අංශය භාරව කටයුතු කරනු ඇත. 

ඊට අමතරව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා තිබෙන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ, ක්‍රීඩකයින්ට සහ කණ්ඩායම් කළමනාකරණය සඳහා වන සියලු ම උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම සඳහා වන සහයෝගය ද ජයවර්ධන මහතා ලබා දීමට නියමිත ය.