ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

වෘත්තීය සමිති 15ක ”සෞඛ්‍ය සේවකයින් 55,000ක්” වර්ජනයක් අරඹති

හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව අද (නොවැ. 24) පෙරවරු 7.00 සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ඒ අනුව, අද උදෑසන 7.00 සිට පැය 48ක කාලයක් එම සංකේත වැඩ වර්ජනය පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

සභාපතිවරයා සඳහන් කළේ, සෞඛ්‍ය සේවයේ උසස් වීම් විෂමතා ගැටලු, හෙද උපාධිධාරීන්ගේ වැටුප් කප්පාදු ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම වර්ජනය ක්‍රියාත්මක කරන බව ය.

සමස්ත රෝහල් පද්ධතියේ ත් මහජන සෞඛ්‍ය සේවාව, පවුල් සෞඛ්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන සේවා රැසකට අදාළ 55,000ක පමණ පිරිසක් රෝහල් 1,100ක ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල 365ක මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව ඔහු පැවසීය.

ඒ අනුව, අද සහ හෙට යන දෙදින තුළ ක්‍රියාත්මක මෙම සංකේත වැඩ වර්ජනයට බලධාරීන්ගෙන් සාධනීය පිළිතුරක් නොලැබුණහොත් බරපතළ ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදු වන බව ද ඔහු අවධාරණය කළේ ය. 

කෙසේ වෙතත්, මෙම වැඩ වර්ජනය සඳහා ළමා රෝහල්, පිළිකා රෝහල් මාතෘ රෝහල් සහ කොවිඩ් සම්බන්ධ රෝහල්වල කාර්ය මණ්ඩල සම්බන්ධ නොවන බව පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, රෝහල්වල හදිසි සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට කටයුතු කරන බව ය.