ColomboXnews

News | Gossip | Political | Entertainment

CorruptionNewsSlider

කුරුණෑගල මාර්කට් එකෙන් කෝටි 28ක් ගහලා – ඇස්තමේන්තුවට වඩා 41%ක් ගෙවලා

කුරුණෑගල මධ්‍යම වෙළෙඳපොළ ඉදිකිරීම සඳහා මහ නගර සභාවේ ඉන්ජිනේරු ඇස්තමේන්තුව ඉක්මවා රුපියල් විසි අටකෝටි දහනවලක්ෂ තිස්හතර දහස් හාරසිය හතළිස් දෙකක මුදලකට ලංසුකරුට කොන්ත්‍රාත්තුව ලබාදීමේ දූෂිත ගනුදෙනුවක් ගැන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

මෙය ඇස්තමේන්තුව සියයට 41ක් ඉක්මවා කළ ගෙවීමක් ලෙස හෙළිදරව් වෙයි. මේ තොරතුරු අනාවරණය වූයේ, පසුගිය 10 වන දා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේ රැස් වූ අවස්ථාවේදී ය.

මෙම සාකච්ඡාවේදී අනාවරණය වී තිබෙන්නේ පළමුව සකස් කළ ඉන්ජිනේරු ඇස්තමේන්තුව නිවැරදිව සකස් කර නැති බවයි. ගොඩනැගිල්ලට අවශ්‍ය සියලු අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් නොවී ඇති බව ද ගිණුම්කාරක සභා රැස්වීමේදී තහවුරු වී ඇත. 

ඒ අනුව, මහ නගර සභාව සද්භාවයෙන් සිදුකරන ලද මෙම කාර්යය ඉන්ජිනේරු දෙපාර්තමේන්තුව විසින් නිවැරදි ඇස්තමේන්තුවක් සකස් නොකිරීම දෝෂ දර්ශනයට ලක්වී තිබේ. මේ සම්බන්ධයෙන් ඇස්තමේන්තුව සකස් කළ ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගතයුතු බවට රජයේ ගිණුම් කාරක සභාව නිර්දේශ කොට තිබේ.

කුරුණෑගල බස් නැවතුම්පොළෙහි මගී ජනතාවට පහසුවෙන් රැඳී සිටීමට වෙන්කර ඇති හිස් පෙදෙසෙහි කඩ කාමර 31ක් පෞද්ගලික වියදමින් ඉදිකර ගැනීමට පුද්ගලයන් 31 දෙනෙකුට අවසර දීමේ සිද්ධියක් ගැන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

මෙම ඉදි කිරීම් ආර්ථික උත්පාදන මාර්ගයක් ලෙස මහ නගර සභාව අර්ථ දක්වා තිබුණ ද මෙමගින් ජනතාවගේ පොදු යහපතට බාධා සිදුවන බවත් බස්නැවතුම්පොළ සඳහා සකස් කර තිබූ මූලික සැලැස්මෙන් බැහැරව මෙම ඉදිකිරීම් සිදුකොට ඇති බව සහ නිවැරදි ක්‍රමවේදයකින් තොරව මෙම කඩ කාමර 31 පුද්ගලයන් 31 දෙනෙකුට ලබාදී ඇති බවත් මෙහිදී හෙළි විය.