ColomboXnews

News | Gossip | Political | Entertainment

Article-01NewsSlider

ඩයස්පෝරාවේ විශ්වනාදන් ඇල්ලෙ හිමි හමුවුණේ ඊළඟට දෙමළ ඩයස්පෝරාව ජනාධිපති ළඟට අරන් එන්නද? (වීඩියෝ)

පසුගිය 2021 ජූලි මාසයේ දෙවැනි සතියේ දිනයකි. කොළඹ බෞද්ධාලෝක මාවතේ, හරියටම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට පිහිටි ධර්මායතන විහාරයට උදෑසන වරුවේ පැමිණෙන මෝටර් රථයකි. එම සුපිරි මට්ටමේ මෝටර් රථය මින් පෙර කෙදිනකවත් එම විහාරස්ථානයට පැමිණ තිබුණේ නැත. මේ විහාරයෙහි නායක හිමිනම අප දිවයිනම හොඳින් හඳුනන සුවිශේෂී පැවිදි යතිවරයෙකි. උන්වහන්සේගේ නාමය නොදත් අයකු නැති තරම්ය. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නායක ස්වාමීන් වහන්සේ මෙම ධර්මායතනයේ විහාරාධිපති උන්වහන්සේය. ‘ඇල්ලේ හාමුදුරුවෝ’ යැයි කියූ සැණින් දන්නා උන්වහන්සේ අද වත්මන් සමාජයේ මහත් ආන්දෝලනාත්මක චරිතයකි. ධර්මායතනයේ දොරටුවෙන් විහාර භූමියට ඇතුළු වුණු මෝටර් රථය විහාර භූමියෙහි නැවැතූ අතර, ඉන් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු බැසගත්තේය. ඉන් හිසකෙස් කොටට කැපූ, කාලවර්ණ පෙනුමක් ඇති සුදු කමීසයක් සහ කළු කබායක් පැලැඳි යුරෝපීය ඇඳුමෙන් යුත් මිනිසා කඩිනමින් විහාර ගෙය දෙසට ගියේය. මින් පෙර කිසිදු දිනෙක මෙම විහාරයට නොපැමිණි ඔහු ඇල්ලේ නායක හිමි විමසමින් ආවාස ගෙට ඇතුළු වුණේය.

‘නායක හාමුදුරුවනේ, ඔබ වහන්සේට පෙර දන්වා තිබුණු පරිදි මම නිමලන් විශ්වනාදන්, දමිළ ඩයස්පෝරාව නියෝජනය කරමින් ඔබ වහන්සේ බැහැදැකීමටයි ආවේ.’ පූජ්‍ය ඇල්ලේ හිමියන්ට වැඳ නමස්කාර කරමින් කියා සිටියේය.

‘බොහොම හොඳයි විශ්වනාදන් මහත්මයා, එන්න ඇතුළට වාඩිවෙන්න.’ නායක හිමියෝ සිනහමුසු මුහුණින් කියා සිටියේය.

සිංහල, බෞද්ධ ජාතිකවාදී හැඟීමකින් බොහෝ විට කටයුතු කරන පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හමුවීමට මෙසේ හදිස්සියේ පැමිණි දමිළ ජාතිකයා කවුද? එසේම දමිළ ඩයස්පෝරාවේ නායකයකු සමග පූජ්‍ය ඇල්ලේ හිමියන්ට ඇති ගනුදෙනුව කුමක්ද? අප මේ ලිපියෙන් අදහස් කරන්නේ එම වගතුග දීර්ඝව සොයා බැලීම නොවේ. එහෙත් රටම දමිළ ඩයස්පෝරා නායකයා ඇල්ලේ ගුණවංශ නායක හිමියන් සමග සාකච්ඡා කළ සමහර කරුණු පුදුමසහගත, එමෙන්ම සුවිශේෂී වගතුගක් යැයිද සිතිය හැකිය. එනම් එම දමිළ ජාතිකයා පූජ්‍ය ඇල්ලේ හිමියන් සමග ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරියේදී කිසිදු ජාති, ආගම් භේදයකින් තොරව ශ්‍රී ලංකාව දියුණු, සමෘද්ධිමත් රටක් බවට පත්කිරීමට තමන්ගේ දමිළ ඩයස්පෝරාව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බැව්ය. එහිදී පූජ්‍ය ඇල්ලේ හිමියන් ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය කාලයේ සමහර දේශපාලකයන්ට රට බාර දී රට විනාශ වූ බවත්, දැන් එහි අවසානයක් දැක්මට නම් දෙමළ ඩයස්පෝරාව ඇතුළු ජාති භේද නොසලකන සියලුම දෙනා දෙවැනි සටනකට ලැහැස්ති විය යුතු බවත්ය. 1948දී මේ රටට නිදහස ගන්නට එදා ජාති, ආගම් භේදයකින් තොරව උතුම් මිනිසුන් එක්වූ අයුරින් නැවැත වරක් සියලු ජාතීන් එක්වී කටයුතු කළ යුතු බැව්, පූජ්‍ය ඇල්ලේ හිමියන් දමිළ ඩයස්පෝරා නායකයාට අවධාරණය කළේය.

‘දමිළ ඩයස්පෝරාව’ යන වදන ඇසූ සැණින් අපට හැඟී යන්නේ ‘ජාතිකවාදී’ නොව ‘ජාතිවාදී’ හැඟීමකි. මෙය අද ඊයේක අපගේ සිත් තුළ ඇති වූවාක් නොවේ. එනම් ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය සහ දමිළ එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්තවාදීන් ගැන මතකයට එන විටදී එය නිරන්තරයෙන්ම සිහියට නැඟෙයි. එසේ වන්නේ දමිළ එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්ත සංවිධානයට දැනට දශක ගණනාවක සිට උපරිම අයුරින් සහාය දක්වන්නේ ‘දමිළ ඩයස්පෝරාව’ හේතුවෙනි. ප්‍රධාන වශයෙන් තම ධනයෙන් සහ ඉන් අනතුරුව තම ශ්‍රමයෙන්ද දැක්වූ එම සහාය ඉතාමත් සංකීර්ණවූ ක්‍රියාවලියකි. කෙසේ හෝ ඒ ගැන පසුවට යමක් කතා කරමු. එවැනි පසුබිමක් තිබියදී පසුගියදා මෙසේ දමිළ ඩයස්පෝරා නායකයකු විසින් ඇල්ලේ ගුණවංශ හිමියන් හමුවී තම සහාය කිසිදු ජාති, ආගම් භේදයක් නොමැතිව ලබා දීමට පොරොන්දු වීම එක්තරා අතකින් අරුමයක් නොවේද? ප්‍රංශයේ ජීවත් වන නිමලන් විශ්වනාදන් නැමැති මෙම ඩයස්පෝරා නායකයා ඉන්පසුව ශ්‍රී ලංකාවේ යම් රූපවාහිනී නාලිකාවක් සමග ප්‍රකාශ කර තිබුණේද යම් අපූරු වගතුගකි. එහෙත් ඒ කරුණු සියල්ල මෙහි ලියා තබන්නට යන්නේ නැත. එහෙත් එහිදී කියැවුණු එක් විස්මිත කතාවක් නම්, ඔහු පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ සියලුම ණය ගෙවීමට තම ඩයස්පෝරාව සතුව වත්කම් ඇති බැව්ය.

ශ්‍රී ලංකාවේ වත්මන් දෙස්, විදෙස් ණය ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 17කි. මෙවැනි සුවිශාල ධන ස්කන්ධයක් ගෙවා දැමීමට දමිළ ඩයස්පෝරාවට හැකියැයි මෙම නිමලන් විශ්වනාදන් නැමැති ඩයස්පෝරා නායකයා සිදුකළ ප්‍රකාශය නිකම්ම අල්ලා ඉවත දැමිය හැකි එකක්ද නොවේ. එනම් ඔවුන් එය සිදුකරන්නේ කෙසේ දැයි පැහැදිලි කෙරෙන නිසි ක්‍රමවේදයක්ද සඳහන් නැත. ඒ වුවද නිමලන් විශ්වනාදන් කියන්නේ තම සංවිධානය හරහා ශ්‍රී ලංකාවට සුවිශාල විදෙස් ආයෝජනයන් ලබාදිය හැකි බැව්ය. දමිළ ඩයස්පෝරාවේ මේ වන විට මිලියන 03කට (ලක්‍ෂ 30ක්) අධික සාමාජිකයන් පිරිසක් සිටින බවත්, ඔවුන් සංවිධාන කිහිපයක් යටතේ එම සාමාජිකත්වය දරා සිටින බවත්, ඔහු ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ මේ ආකාරයට දමිළ ඩයස්පෝරාව යනු කෙතරම් ප්‍රබලවූ ක්‍රියාවලියක්ද? ඔවුන් පසුගිය ශ්‍රී ලංකා වාර්ගික යුද්ධයේදී කොටි ත්‍රස්තයන්ට ආයුධ ලබා ගැනීම සඳහා රුපියල් කෝටි ගණනින් මුදල් වියදම් කළේ මෙවැනි වටපිටාවක් තිබියදීය. එනම් දැනට යුද්ධය අවසන්ව ඇති හෙයින් ඔවුන්ට එම සාමාජික මුදල් ඩොලර් මිලියන, බිලියන ගණනින් වර්තමානයේදී ඉතිරිව තිබෙන්නේද?

පසුගිය දිනෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ ඩයස්පෝරාව ගැන විශේෂයෙන් සඳහන් කළේය. එහිදී ජනාධිපතිතුමන් කියා තිබුණේ ඩයස්පෝරාව සමග තමන් සාකච්ඡා කිරීමට සූදානම් බවය. මේ සාකච්ඡාවලට මුලපුරන්නේ කවුද, කොහොමද කියන එක ගැන පැහැදිලි අදහසක් නැත. නමුත් මේ සාකච්ඡාවේ අතරමැදිකරුවා වන්නේ නිමලන් විශ්වනාදන්ද කියනා එක සම්බන්ධව අපට දැන් හිතෙන්නට පටන්ගෙන තිබේ. ඔහු පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මුණගැසීමම යම් කිසි සාධනීය තත්ත්වයක් විය හැකිය. කොහොම නමුත් ඒ සාකච්ඡා කතාවත් එක්කම අපට එක පාරටම මතක් වෙන්නේ නිමලන් විශ්වනාදන්වය.

ඒ, ඒ රටවල සිටින ජාතීන් ආශ්‍රය කරගෙනද මෙම ඩයස්පෝරා වගතුග බෙදී යයි. එයට මෙම සරල උදාහරණය ගෙනහැර දැක්විය හැකිය. ලෝකයේ සිටින ප්‍රධාන ජාතීන් දෙකක් වන, මුස්ලිම් සහ දමිළ ජාතීන්ට අදාළව ‘මුස්ලිම් ඩයස්පෝරාව’ (muslim diaspora) සහ ‘දමිළ ඩයස්පෝරාව’ tamil diaspora ලෙසින් නම් කෙරෙයි. ඒ අතරම තවත් විවිධ ජාතීන් වර්ග රැසක් ඇසුරු කරගෙනද එම බෙදා වෙන් කිරීම සිදුකෙරෙයි. එහෙත් එම වගතුග අප පසෙකින් තබා මෙම ‘දමිළ ඩයස්පෝරාව’ යන වදන පමණක් ගනිමු. එසේ සොයා බැලිය යුත්තේ එය අපට අදාළ කතාව වන හෙයිනි. මෙහිදී ලෝකයේ වැඩිම දමිළ ජනතාව වෙසෙන්නේ ඉන්දියාවේය. ඒ අනුව එම දමිළ ජනයා බටහිර රටවල වෙසෙන විටදී, එම ජාතිය අයත් රටට අනුකූලව මෙම ඩයස්පෝරා වගතුග සඳහන් කෙරෙයි. එනම් ඉන්දියානු දමිළ ඩයස්පේාරාව (tamil diaspora) ඉන්දියාවටද, ශ්‍රී ලංකා දමිළ ඩයස්පෝරාව lanka tamil diaspora ශ්‍රී ලංකාවටද, අනුව සඳහන් කෙරෙයි. දැනට දශක ගණනාවක සිට කතා වන්නේ මෙම ඩයස්පෝරාව ගැනය.
ලෝකයේ සිටින මුළුමහත් දමිළ ඩයස්පෝරාව අයත් ජනගහනය මිලියන 05ක් (ලක්‍ෂ 50ක්) පමණ බැව් සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. එයින් ශ්‍රී ලාංකික දමිළ ඩයස්පෝරාවට අයත් ජනගහනය වශයෙන් සැලකෙන්නේ 9,87,000ක පමණ පිරිසකි. එම පිරිස ලෝකයේ රටවල් කිහිපයක විසිරී සිටිති. මෙයින් අංක එකට සිටින්නේ කැනඩාවය. කැනඩාවේ ශ්‍රී ලාංකික දමිළ ජනයා 1,70,000ක පමණ පිරිසක් වාසය කරති. එයට අමතරව පිළිවෙළින් ශ්‍රී ලාංකික දමිළ ජනයා ප්‍රමාණයන් වාසය කරන රටවල් වන්නේ, එංගලන්තය, ඉන්දියාව, ජර්මනිය, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය, ඇමෙරිකාව, මැලේසියාව, නෝර්වේ, ඩෙන්මාර්කය හා ස්වීඩනය වෙයි. මේ අනුව මෙම විදෙස් රටවල් 11 ආශ්‍රිත කරගෙන ප්‍රධාන වශයෙන් මෙම ශ්‍රී ලාංකික දමිළ ඩයස්පෝරාව ගොඩනැඟී ඇත. දැන් ඔබට මේ කතාන්දරය බොහෝ පැහැදිලි ඇතැයි සිතමි. එහෙත් එම කතාව තවද නිමක් නැත. එහි තවත් පරිච්ඡේදයන්ද ඇත.

ශ්‍රී ලාංකික දමිළ ඩයස්පෝරාව ඒ, ඒ රටවලට අදාළව තම සංවිධාන බිහිකරගෙන ඇත. දැනට කරුණු ප්‍රකාශිතව ඇති අයුරු එවැනි සංවිධාන 16ක් ලොව වටා ඇත. මෙම සංවිධාන සියල්ලෙහිම සාමාජිකයන් සියල්ලම, මුලින්ම ශ්‍රී ලාංකික සම්භවය ඇති පිරිසක් වෙයි. එනම් ශ්‍රී ලාංකිකයන් ලෙසටද හඳුන්වා ගනිති. මෙම සංවිධාන 16හි නාමයන් මෙසේ ගෙනහැර දක්වමි.

L.T.T.E. Tamil Tigers

British Tamil Forum

World Tamil Movement

Canadian Tamil Congress

Australian Tamil Congress

Global Tamil Forum

National Council of Canadian Tamils

Tamil National Council

Tami; Youth Organization

World Tamil Coordinating Committee

Transnational Government of Tamil Eelarm

Tamil Eelam People’s Assembly

World Tamil Relief Fund

Headquarters Group AKA

කෙසේ හෝ 2009 වසරේදී ශ්‍රී ලාංකික රජය විසින් වාර්ගික යුද්ධය නිම කිරීමෙන් පසුව මෙම දමිළ ඩයස්පෝරා සංවිධාන 14ක් තහනමකට ලක්කරන ලදී. එසේ වුවද එම සංවිධාන තම ක්‍රියාවලින් විදෙස් රටවල් තුළදී ගෙන ගියේය. එහෙත් එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානය බලවත්ව තිබෙන කාලයේදී මෙන් එම ක්‍රියාවලීන් ශක්තිමත් නොවීය. කෙසේ හෝ දැන් අලුත්ම පුවත ලෙස පසුගියදා වාර්තා වූයේ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාද දමිළ ඩයස්පෝරාව සමග සුහදව ගනුදෙනු කිරීමට කැමැති වීමය.

ප්‍රියන්ත හෙට්ටිගේ