ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පාස්කු දින ප්‍රහාරයේ වගකිව යුත්තන්ට දඬුවම් දී කතෝලික ජනතාවට සාධාරණය ඉටුකළ යුතුයි – පාස්කු කොමිසමෙන් නඩු දාන්න කියපු හිටපු ජනාධිපති කියයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට දඩුවම් දී කතෝලික ජනතාවට සාධාරණය ඉටුකළ යුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. තම දේශපාලන ජීවිතයේ කණගාටුදායකම සිද්ධිය පාස්කු ප්‍රහාරය බවත් තමන්ට ඒ පිළිබදව විශාල වේදනාවක් පවතින බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ‘විසදුමකට ජවයක් නව ඇරඹුමකට සවියක්’ යන තේමාව යටතේ පොලොන්නරුව බෞද්ධ සංගම් ශාලාවේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොලොන්නරුව දිස්ත්‍රික් කාන්තා හා තරුණ බලමණ්ඩල ශක්තිමත් කිරීමේ වැඩසටහනට එක් වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව මගින් මෛත්‍රීපාල සිරිසේන මහතාට නඩුපවරන ලෙසට නිර්දේශ කර ඇති පසුබිමක ඒ මහතා විසින් මෙම ප්‍රකාශය කිරීමය.

පාස්කු ප්‍රහාරය පිළිබද ප්‍රශ්නය ඉතා සංකීර්ණ හා බොහෝ දීර්ඝව කතා කළ යුතු දෙයක් බව කී ජනාධිපතිවරයා මේ වන විට ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විසිගණනක් පවතින නිසා ඒ ගැන වැඩි යමක් කතා කිරීමේ හැකියාව තමන්ට නැතැයි ද පැවසීය.

මෙයින් මියගිය, තුවාල ලැබූ ඇතුළු සියලු දෙනාට සාධාරණත්වය ඉටුවිය යුතුය යන්න තමාගේද ස්ථාවරය බව හිටපු ජනාධිපතිවරයා කීවේය.

තමාටත් ඒ පිළිබදව විශාල වේදනාවක් ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා තම රජය යටතේ වින්දිතයන්ට වන්දි ගෙවීම, දේවස්ථාන සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීම ආදිය සිදුකළ බව ද පැවසීය.

කතෝලික ජනතාව සම්බන්ධයෙන් තමන් තුළ විශාල ගෞරවයක් ආදරයක් ඇති බව කී සිරිසේන මහතා ඒ සෑම කෙනෙකුට ම සාධාරණත්වය ඉටු විය යුතු බව ද කියා සිටියේය.