බැසිල් 06වෙනිදා පාර්ලිමේන්තුට – යලිත් ආර්ථික සංවර්ධන ඇමතිධුරයටම
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, දිළිඳුකම පිටුදැකීමේ සහ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානීයා ලෙස කටයුතු කල තිරය පිටුපස සිට පසුගිය කාලය පුරාවට සියලු දේශපාලන මැදිහත්විම් කල බැසිල් රාජපක්ෂ මහතා ජුලි 06 අඟහරුවාදා දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
ඒ මහතා එදිනම ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහිත් දිවුරුම් දෙනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.
2010 – 2015 මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ ද ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දැරුවේ බැසිල් රාජපක්ෂ මහතා විසින් වන අතර එම කාලය තුල බරපතල වංචා දුෂණ විශාල ප්‍රමාණයක් සිදුවු අතර ඒ පිළිබදව අධිකරණය තුල නඩු ගණනාවක්ම මේ වනවිටත් පවතී. දැනටත් එම අමාත්‍ය ධුරයට අදාළ වගකීම දිළිඳුකම පිටුදැකීමේ සහ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකා හරහා දරන්නේ ඒ මහතාය.
බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණීමට ඉඩ ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.