ටෙලි නාට්‍යයක රූගත කිරීමකට ගිය නළු නිළින් 11 දෙනෙකුට කොවිඩ්
රූපවාහිනි නාලිකාවක විකාශය වන ටෙලි නාට්‍යයක ඉතිරි කොටස් රූගත කිරීමට ගොස් මිහින්තලේ අඹතලාගම ප‍්‍රදේශයේ පෞද්ගලික නිවාඩු නිකේතනයක ලැඟුම්ගෙන සිටි තිස්පස්දෙනකුගෙන් සමන්විත නාට්‍ය කණ්ඩායමක නළු නිළියන් ඇතුළු එකොළොස් දෙනකුට කොවිඞ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව මිහින්තලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පෙරේදා (19 )දා සවස තහවුරු කරගෙන ඇත.
ඉකුත් 09 වැනිදා කොළඹ සිට අඹතලාගම ප‍්‍රදේශයට පැමිණ ඇති අදාළ ටෙලි නාට්‍යයේ නිෂ්පාදන කණ්ඩායම ඇතුළු නළු නිළියන් පිරිස එහි නිවාඩු නිකේතනයක නවාතැන් ගෙන සිට ඇත.
කොළඹ ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව කියන පිරිසක් ඇතුළු ටෙලි නාට්‍ය කණ්ඩායම මිහින්තලේ පූජා නගරය සහ ඒ අවට ප‍්‍රදේශයන්හි රූගත කිරීමේ අරමුණින් එහි ගොස් ඇතත් පවත්නා තත්ත්වය හමුවේ අදාළ රූගත කිරීම් සිදු කිරීමට අපහසු වීම නිසා නැවත කොළඹ බලා පිටත් වීමට පෙර ඉකුත් 17 වැනිදා ඔවුන් පෞද්ගලිකව පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර ගෙන ඇත.
එම පී.සී.ආර්. පරීක්ෂණ ප‍්‍රතිඵල අනුව ඔවුන්ගෙන් එකොළොස් දෙනකුට ‘කොවිඞ් -19’ වෛරසය ආසාදනය වී ඇති බව පෙරේදා (19 )දා සවස තහවුරු කරගෙන තිබිණි.
මේ අනුව එම කණ්ඩායමේ සිටි නළු නිළියන් පස්දෙනෙකුට සහ එහි කාර්ය මණ්ඩලයේ තවත් හයදෙනකුට ‘කොවිඞ් – 19’ වෛරසය ආසාදනය වී ඇත. තවත් කීපදෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ඊයේ (20)දා නිකුත්වීමට නියමිතව තිබිණි.
එකම පවුලේ ඥාතීන් පිරිසක් විසින් එම නිවාඩු නිකේතනය පවත්වාගෙන යන අතර ඔවුන් ඇතුළු ටෙලි නාට්‍ය කණ්ඩායමේ සියලූ දෙනා අදාළ නිවාඩු නිකේතනය තුළම නිරෝධායනයට ලක්කිරීමට පියවර ගෙන තිබුණි. පසුව ඊයේ (20) දා දහවල් ආසාදිත රෝගීන් එකොළොස් දෙනා ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ කොරෝනා ප‍්‍රතිකාර ඒකක කීපයකට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි.
මේ අතර ‘කොවිඞ් – 19’ රෝගය ආසාදිත නොවූ බවට තහවුරු වී ඇති විසි හතර දෙනා ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරයාගේ ඇතුළු පිරිසගේ ඉල්ලීම මත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආරක්ෂිතව කොළඹ ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක රඳවා නිරෝධායනය කිරීම සඳහා රැුගෙන යෑමට කටයුතු කෙරිණි.