ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlidervariety

නිරෝධායනය කර දවස් 4ක් කන්න නැතිව හිටිය අපට කෑම ගේන්නයි තාත්තා ගියේ – වැලිගම කැළඹූ තිදරු පියාගේ මරණය

මිදිගම වෑකඩ පදිංචි සුසිල් ඉන්‍ද්‍රජිත් තිදරු පියෙකි. ඔහුගේ දියණියක කොග්ගල ඇඟලූම් ආයතනයක සේවය කරන්නීය. ඇයට කොරෝනා ආසාදිත වීම නිසා සුසිල් ඉන්‍ද්‍රජිත් ඇතුළු පවුලේ පිරිසට නිවසට වී ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලැබිණි.

සුසිල්ගේ කොරෝනා ආසාදිත දියණිය ප‍්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණු අතර දින හතරක් ඉකුත් වී යන තැන ඔවුනට කෑමබීම සපයා ගැනීමේ ගැටලූවකට මුහුණදීමට සිදුවිය. සුසිල් ඇතුළු පිරිස නිරෝධායනයට ලක් කළ ද ඔවුනට එදිනෙදා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට සෞඛ්‍ය හෝ වෙනත් වගකිවයුතු පාර්ශ්වයන් ඉදිරිපත් වී නොතිබිණි. එහි අවසන් ප‍්‍රතිඵලය වනුයේ නිරෝධායන නීති නොතකා මෙම තිදරු පියාට නිවෙසින් බැහැර වීමට සිදුවිමයි. මේ පුවතේ ඛේදනීයම සිද්ධිය වාර්තා වෙනුයේ ඉන් අනතුරුවය. පසුගිය 17 දා රාත‍්‍රි බිරිඳට සහ දරුවන්ට කෑමට යමක් සොයා වැලිගම නගරයට ගිය සුසිල් බස් රථයක පසුපස රෝදයට යටවී මිය යන්නේය.

සිද්ධිය වූ අවට ආරක්‍ෂිත කැමරා පරීක්‍ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ මොහුට යම් පිරිසක් පහර දුන් බවය. පහරදුන් පිරිස ප‍්‍රදේශයේ නීතිය සුරකින ආයතනයකට සම්බන්ධ බව ද පැවසේ. ඒ අනුව මෙම තිදරු පියාට පහර දී ඝාතනය කර බස් රියක රෝදයට යට කලාද යන ප‍්‍රශ්නය පැනනැඟී ඇත.

පවුලේ උදවියගේ චෝදනා බොරු සැකකරු අත්අඩංගුවට ගත්තා…. වැලිගම මූලස්ථාන පොලිස් පරීක්‍ෂක

waligama3

‘‘අනේ මහත්තයෝ… මගේ මිනිහට සාධාරණයක් කරල දෙන්න. නිරෝධායනය කරල පෝස්ටර් මොකුත් ගැහුවෙ නෑ. රාළහාමිටත් කතා කරල පී.එච්.අයි. මහත්තයටත් කතා කරල ළමයින්ට කන්න එකක් ගේන්න කියල එළියට බැස්සෙ. අනේ මගෙ මනුස්සයට සාධාරණයක් ඉෂ්ට කරල දෙන්න. අයියෝ…’’ මේ දුක් අඳෝනාව ඇසුණේ වැලිගම මිදිගම, වෑකඩ ප‍්‍රදේශයේ පදිංචි නිරෝෂා දමයන්ති මහත්මියගේ මුවිනි.

 වරාය නීතිගත සංස්ථාවේ සේවයේ යෙදෙන මිදිගම, වෑකඩ ප‍්‍රදේශයේ පදිංචි තිදරු පියෙක් වන ඞී. සුසිල් ඉන්ද්‍රජිත් මහතාගේ දියණියක් කොග්ගල ප‍්‍රදේශයේ පෞද්ගලික ඇඟලූම් ආයතනයක සේවයේ යෙදෙමින් සිටි අතර කොරෝනා ආසාදිත වී නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය සඳහා පිටත් කර ඇත.

 ඉන්පසුව එම පවුලේ සියලූ දෙනාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප‍්‍රදීප් කුමාර ගංගොඩ ගමාච්චිගේ සහ වැලිගම පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරි එම්. එන්. එච්. නිහාල් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ඔවුන් සියලූ දෙනා ස්වයං නිරෝධානයට නිවස තුළ ලක් කිරීමට කටයුතු කළ බව මිදිගම කලාපයේ මහජන සෞඛ්‍යය පරික්ෂක එම්. ජී. රුවන් ප‍්‍රියන්ත මහතා පැවසුවේය.

waligama1

මෙම නිවසට ආහාර අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් ට අයත් කරුණක් නොවන බවත්, ඒ සඳහා පත්කළ වෙනත් රාජ්‍ය නිලධාරින් සිටින බව අප කළ විමසීමකදී පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. එන්. එච්. නිහාල් මහතා කියා සිටි අතර මියගිය ඉන්ද්‍රජිත් මහතාගේ දරුවන් පවසන්නේ සොයුරිය ගෙන ගොස් දින හතරක් යන තුරු ඔවුන් නිරෝධායනය කිරීමට කිසිදු සෞඛ්‍ය හෝ පොලිස් නිලධාරියකු නොපැමිණි බවයි. එමෙන්ම තම පියා වරායේ සේවකයෙක් බැවින් ඔහු කොරෝනා එන්නත් දෙකම ලබාගත් අයෙක් බවද සඳහන් කරයි.

 පසුව සෞඛ්‍යය නිලධාරීන් ලබාදුන් උපදෙස් මාර්ගයෙන් ඔවුන් නිවස තුළ ස්වයං නිරෝධායනය සිදුවී ඇත. දින හතරකට පසුව මොවුන්ට අවශ්‍ය ආහාරපාන හිඟවූ බැවින් මියගිය ඞී. සුසිල් ඉන්ද්‍රජිත් (17 දා* රාත‍්‍රී බිරිඳ සහ දරුවන්ට කෑමට යමක් රැුගෙන ඒමට වැලිගම නගරයට ගොස් ඇත.

 සිය පියා විසින් මේ බව වසමේ ග‍්‍රාම නිලධාරිතුමියට දුරකථන ඇමතුමක් දෙමින් කියා සිටි බවත්, ඇය දැනුවත් කර වැලිගම නගරයට ගිය බව දරුවන් පවසයි. පසුව රාත‍්‍රි කාලයේ නිවසට ලැබුණු දුරකථන ඇමතුමක් මාර්ගයෙන් එදින රාත‍්‍රී ආහාර රැගෙන ඒමට වැලිගම නගරයට ගිය පියා බසයකට යටවීමෙන් මරණයට පත්ව ඇති බව වැලිගම පොලිසිය මගින් නිවසේ අයට දැනුම් දී තිබේ. පොලිසිය මගින් රාත‍්‍රියේම මළසිරුර මාතර මහ රෝහලට පිටත් කර ඇත.

waligama2

මේ පිළිබඳව වැඩිදුරටත් කතා කළ ඔහුගේ බිරිඳ වන ඞී. නිරෝෂා මහත්මිය පැවසුවේ, ‘දැන් මගේ මහත්තයට කොරෝනලූ. පොලිසියට උදේ ගියහම තමයි කිවුවෙ ඔහෙල ගිහිල්ල මරණෙ ගන්න කිසි ප‍්‍රශ්නයක් නෑ කියල. වාර්තාවෙන් කිව්වයි කිව්ව කිසිම අවුලක් නෑ කියල. ඒගොල්ලමයි කිව්වෙ පොලිසියට ගියාට පස්සෙ බස් එකේ ගියපු කට්ටියයි ගහපු එක්කෙනයි ගත්තයි කිව්වා. ඒගොල්ලන් කිව්ව වඳිද්දි වඳිද්දි ගහලා පාර මැද්දට දාල ගිහිල්ල තියෙන්නෙ කියල. මම උදේ ග‍්‍රාමසේවකට කෝල් එකක් අරගෙන කිව්වම අර මට කතා කළ මනුස්සයද කියල ඇහුවා. මටත් කතා කරලයි කිව්ව ගියේ. එයාට කතා කරල තමයි ළමයින්ට කෑම එකක් ගේන්න කියල

 ගියේ. අනේ මරල ගෙනත් දාලයි කියල තමයි කියන්නේ… අපිට එතෙන්ට යන්න කිව්ව හින්ද අපි ගියා. එතැනින් කිව්ව කොරෝනයි කියල. මට හැදුණත් අවුලක් නෑ මට බෙහෙත් දෙකම විදලයි කිව්ව තියෙන්නෙ. එහෙම කියල අපිට පරිස්සම් වෙන්න කියල කිව්වෙ. බුදු සර්… සාධාරණයක් කරල දෙන්න…

 කන්න බොන්න අඩුපාඩු හින්ද තමයි ගෙදරින් බැහැල ගියේ. මම විගහට එනවයි කිව්ව. අනේ… මම මේකට මොකක්ද කරන්නේ. මට බෑ මගේ අහිංසක මහත්තය පුච්චන්න දෙන්න. මට මේ මරණෙ පුච්චන්න දෙන්න බෑ. බස් එක යන්නෙ මොන සීමාවෙන්ද මරණෙ තිබුණෙ මොන සීමාවෙන් ද කියල වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. බස් එක හරි සීමාවෙන් ආවනම් බස් එක යන්නෙ කකුල් දෙක උඩින්. ඒ පැත්තෙන්ම එළෙව්වෙ මොකද ඔළුව උඩින්ම. අපිට අතක් පයක් නැති වුණානම් අපි ඒක හදා ගන්නවා. ඇයි එහෙම කළේ… ඔළුව උඩින්ම අල්ලල තියෙන්නේ. නීතිය නම් නීතිය දීපල්ලා. මමත් මැරෙනව මේකෙ.

 මියගිය ඉන්ද්‍රජිත් මහතා ගේ නෑනා කෙනෙක් වන නිසංසලා නිරානි පැවසුවේ, ‘මියගිහින් ඉන්නෙ මගේ මස්සිනා කෙනෙක්. එයාගෙ දූ කොග්ගල ගාමන්ට් එකේ වැඩ කරනවා. එයා කොරෝනයි කියල කළුතර අරගෙන ගිහිල්ල. මේගොල්ලො දවස් හතරක් ගෙට වෙලා ඉදල කන්න බොන්න ඉවර වෙලා. ඒව ඉවර වුණාට පස්සෙ මස්සිනා ග‍්‍රාමසේවක නෝනටත් කෝල් කරල තමයි ගිහිල්ල තියෙන්නෙ.

 සිය පියාගේ මරණය සම්බන්ධයෙන් අදහස් පළකළ ඔහුගේ වැඩිමහල් පුතු තිවංක සඳරුවන්, ‘දැන් තමයි පී.සී.ආර්. කරන්නෙ. ඔය දවස් හතකට පස්සෙ ආවෙ. කොළ මොකුත් ගහල තිබුණෙ නැහැ. සතියක් තිස්සේම කන්න නැතුව තාත්තා අන්තිමට තමයි කන්න ගේන්න

 ගියේ. අපිට විහිළු කරලත් ගියේ. කන්න දෙයක් නැති හින්දමයි තාත්ත කන්න ගේන්න ගියේ. ඉවර වුණාට පස්සෙ අපි මෙහෙ ආවයින් පස්සෙ කොලේ ගැහුව. අපිට වටෙන් ආරංචි විදියට පොලිසියේ දෙන්නෙක් ඉඳල තාත්තට ඒ දෙන්න ගහල.

 ඒගොල්ලන් කියනව ගහපු කට්ටිය අත්අඩංගුවට ගත්ත කියල. එතකොට ගහපු එකේ වීඩියෝ තියෙන්න එපැයි. අපිට ඒ වීඩියෝ දෙනවයි කිව්ව. ඒ වීඩියෝ දුන්නෙත් නෑ. වීඩියෝ එකත් එව්ව. ඒකෙ තියෙන්නෙ තාත්ත වැටිල ඉන්න එක.

 මෙහි ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම මරණයට පත් පුද්ගලයාට අයෙකු පහරදෙන දර්ශන ඇති බවත් ඔවුන් නගරයේ ඇති නීතිය සුරකින රාජ්‍ය ආයතනයක නිලධාරින් බවත් මරණකරුගේ බිරිඳ සහ දරුවන් පවසයි.

 ඔවුන්ට වැලිගම පොලිසිය මගින් ලබා දුන් ආරක්ෂිත කැමරා දර්ශනවල අඩංගු වී ඇත්තේ පාරේ වැටී සිටින සිය පියාගේ ගේ සිරුරේ හිස හසුවන ලෙස බස් රථයක පිටුපස රෝදය ගමන් කරන දර්ශනයකි. දරුවන් සහ බිරිඳ කියා සිටින්නේ සිය පියාට කවුරුන් හෝ පහරදීම් කළ බව පොලිසිය පවසා සිටියත් එම දර්ශන ඔවුන්ට ලබාදීමට පොලිසිය කටයුතු කළේ නැති බවයි.

 එබැවින් මෙම මරණය සැක සහිත එකක් බව ඔවුන් පවසයි. පෙරේදා (19 දා* උදේ වැලිගම පොලිසිය මගින් ඔවුන්ට දැනුම් දී තිබුණේ මරණයේ පී.සී.ආර්. පරික්ෂණ කටයුතු කළ බවත් කිසිදු ගැටලූවක් නොමැති හෙයින් මාතර රෝහලට ගොස් මරණය ගෙදර ගෙන යන ලෙසයි.

 එහෙත් දවල් වනවිට පොලිසිය දැනුම් දී තිබෙන්නේ මරණය කොවිඞ් පොසිටිව් බවත් එය ලබා ගැනීමට නොහැකි බවයි.

 මේ පිළිබඳව මරණකරුගේ බිරිඳ, දරුවන් සහ අසල්වැසි නෑදෑයන් කියා සිටින්නේ මේ සියලූ දේ අසත්‍ය බවත් මේ පිළිබඳව තිබෙන සියලූ ආරක්ෂිත කැමරා වීඩියෝ දර්ශන ඔවුන්ට ලබා දෙන ලෙසයි.

 එමෙන්ම මරණය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු විධිමත්ව සිදු කර ඔහුට පහරදීම් කළ අයට නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.

 මරණය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිස් පරික්ෂක ඞී. එම්. අබේසේකර මහතාගෙන් දුරකථනයෙන් කරන ලද විමසීමේදී ඔහු කියා සිටියේ පොලිසිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ පවුලේ උදවිය කරන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවත්, මේ සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියැදුරු කොන්දොස්තර සහ එම පහරදීමට සම්බන්ධ වූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර පී.සී.ආර්. පරීක්ෂණයෙන් පසුව මළසිරුර කොරෝනා ආසාදිත තත්ත්වයට පත් වී තිබෙන හෙයින් මාතර අතිරේක මහෙස්ත‍්‍රාත් සමන් පරනලියනගේ මහතාගේ උපදෙස් පරිදි මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව ඉරණමඩු ප‍්‍රදේශයේ භූමදානය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවත්ය.

 මේ සම්බන්ධයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ගේ උපදෙස් පරිදි පොලිස් රථවාහන අංශයේ උ.පො.ප. පාලිත පතිරණ සහ උ.පො.ප. දහනායක මහතාගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

 මාතර අතිරේක – ලලිත් පත්මසිරි