කොරෝනා මෘතදේහ භූමදානය කරන මාර්ගෝපදේශ මෙන්න – ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම තහනම්
කොවිඩ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇතැයි වාර්තා වේ.
ඉරණතිව් දූපතේදී එම මෘතදේහ භූමදානයට අදාළව නිකුත් කර ඇති මෙම මාර්ගෝපදේශ පාර්ශ්ව 16ක් වෙත යොමුකර ඇති බව සඳහන්.
ඒ අනුව කොවිඩ් හේතුවෙන් මියගිය අයෙකුගේ දේහය භූමදානයට කිරීමට අවශ්‍ය නම් එම පුද්ගලයාගේ ඥාතීන් විසින් වහාම සෞඛ්‍ය අංශ වෙත ඒ පිළිබඳ දැනුම්දිය යුතු වන අතර මෘත දේහය රැගෙන ඉරණතිව් දූපත බලායෑමට දෙදෙනෙකුට පමණක් අවසර හිමිවේ.
සෑම දිනකට අළුයම 05.30ට මෘතදේහ ඉරණතිව් දූපත ලබා රැගෙන යාමට නියමිතව ඇති අතර මළසිරුරු පෙට්ටියේ තැන්පත් කිරීමේදී හෝ භූමදානය කිරීමේදී ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
එම මාර්ගෝපදේශවල දැක්වෙන්නේ,
- මරණකරුගේ ඥාතීන් විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ඒ පිළිබඳ නොපමාව දැනුම් දිය යුතුයි.
- එය ලිඛිතව සෞඛ්‍ය නිලධාරීන් විසින් ඥාතීන්ගෙන් ලබා ගත යුතුයි.
- සෞඛ්‍ය නිලධාරීන් විසින් ලබාදෙන ලිය කියවිලි මෘත දේහය ඉරණතිවු දූපත දක්වා ගෙන යාමට වලංගු වේ.
- මෘත දේහය ගෙන යාම සඳහා අවශ්‍ය පෙට්ටිය ඥාතීන් විසින් සැපයිය යුතුයි.
- දේහය රැගෙන එන අවස්ථාව ඡායාරූප ගත කිරීම හෝ වීඩියෝගත කිරීම සපුරා තහනම්.
- කොළඹ නගරයේ නම් කරන ලද ස්ථානයකට දේහය රැගෙන ඒමෙන් පසු දිනපතා අලුයම 5.30ට නච්චිකුඩා ජැටිය දක්වා මෘත දේහ ප්‍රවාහනය කරනු ලැබේ.
- මෘත දේහය හඳුනා ගැනීමට රෝහලට පැමිණි ඥාතීන්ගෙන් දෙදෙනෙකුට පමණක් ඒ සමඟ ඉරණතිවු දූපතට යාමට අවසර හිමිවේ.
- අදාළ ඥාතීන් නිරෝධායන නීති වලට දැඩි ලෙස අනුගත විය යුතු අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.
- කිසිදු හේතුවක් මත මෘත දේහය ඇතුලත් පෙට්ටිය විවෘත කිරීමට අවසර හිමි නොවේ.
- අවසන් කටයතු ඥාතීන් දෙදෙනෙකු, සෞඛ්‍ය හා ආරක්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කළ යුතුය යන්න අදාළ මාර්ගෝපදේශයි