මෛත්‍රී, ප්‍රජා අයිතිය රැකගන්න අනුරාධපුරේ ඥානක්කාගේ පිහිට පතයි (ඡායාරූප)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රජා අයිතිය වසර 07කට අහෝසි කිරීමට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර ඇතැයි පෙරේදා (12) දිනයේදී මාධ්‍ය වාර්තා කර තිබිණි.
සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවකදී සිදුවන්නේ ජ්‍යේෂ්ඨතම නීතීඥයින් හමුවීමට ගොස් නීති උපදෙස් ලබාගැනීමය. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා කර තිබුණේ වහාම ගොස් අනුරාධපුරේ ඥානක්කා හෙවත් ඥානා මෑණියෝ ලෙස හැඳින්වෙන සාත්තර කියන කාන්තාව හමුවීම සඳහා ඇයගේ දේවාලයට යෑමය.
අපගේ ආරංචිමාර්ග පැවසුවේ ඒ මහතා ඊයේ පෙරවරුවේ සිට දහවල් 12.30 පමණ දක්වා එම දේවාලයෙහි රැඳී සිට ඇති බවයි. මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර සහ ඖෂධ නිෂ්පාදන, නියාමන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන යන මහත්වරුන් ද එහි සිට ඇති අතර තිදෙනා එක්ව යම් සාකච්ඡාවක ද නිරතවූ බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අප මීට වසරකට පමණ පෙරත් පෙන්වා දුන් ආකාරයට ඥානක්කාගේ දේවාලය මේ වනවිට රටේ ප්‍රභූවරුන් නිරන්තරයෙන් ගැවසෙන, බොහෝ ප්‍රබල තීන්දු තීරණ ගැනෙන ස්ථානයක් බවට පත්ව තිබේ. දේව අනුහස් කෙසේවෙතත් රාජ අනුහස් එතැන ඉහළින්ම පවතී. නීති උපදෙස් අවශ්‍ය මොහොතේදී පවා රටේ ප්‍රබලතම තනතුරු දැරූ පුද්ගලයිනුත් දුවගෙන යන්නේ ඥානක්කාගෙන් උපදෙස් පැතීමටය.



