TNA සතු ප්රාදේශීය සභාවක් එජාපය හා මුස්ලිම් කොංග්රසයේ සහායෙන් පොහොට්ටුව අල්ලයි
වසර 25කට වැඩි කාලයක් දෙමළ ජාතික සන්ධානයේ බලයේ පැවති ත්රිකුණාමලය දිස්ත්රික්කයේ උප්පුවේලිනගර කඩවත් සතර ප්රාදේශීය සභාවේ බලය ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් තහවුරු කරගෙන තිබේ.
ඒ අනුව උප්පුවේලිනගර කඩවත් සතර ප්රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ආර්.ඒ.ටී.එස්.ඩී.රත්නායක මහතා අද (15) වැඩ භාර ගන්නා ලදී.
ත්රිකුණාමලය දිස්ත්රික්කයේ පළාත් පාලන ආයතන 13 කින් සමන්විත වන අතර උප්පුවේලිනගර කඩවත් සතර ප්රාදේශීය සභාවේ මන්ත්රී ධුර ගණන දැක්වෙන්නේ 22ක් ලෙසය.
2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය මන්ත්රී ධූර 07ක් ලබා ගෙන එහි බලය ලබා ගන්නා ලදී.
කෙසේවෙතත් එම ප්රදේශීය සභාවේ පසුගිය අයවැය දෙකක්ම පරාජයට පත් වීම හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය සතු එම බලය අහිමි වූ අතර අද දින පැවති ජන්ද විමසීමේදී මන්ත්රීවරු බහුතරයකගේ ජන්දය දිනා ගැනීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.
ඒ අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්රී ධූර 12ක් දිනා ගෙන ඇත. දෙමළ ජාතික සන්ධානයට දින ගැනීමට හැකිවී ඇත්තේ මන්ත්රී ආසන 10කි.
මෙහි විශේෂ කරුණ වන්නේ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්රීවරු 05 දෙනා සමඟ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරු දෙදෙනා සහ ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය ජන්දය භාවිතා කර ඇති අතර මෙම කණ්ඩායමට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරු දෙදෙනා, ඊ.පී.ඩී.පී සංවිධානය,දෙමළ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය, යන පක්ෂවලින් තේරී පත්ව සිටින මන්ත්රීවරු තිදෙනාද අද ශ්රී ලංකා පොදු ජන පෙරමුණට සහය දක්වා ඇත.