සොත්ති උපාලිගේ දියණිය අත්අඩංගුවට
රුපියල් පන්කෝටි අනූ ලක්ෂයක මුදල් සහ හෙරොයින් ග්‍රෑම් 300ක් සමඟ ඊයේ (19) අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින 37 හැවිරිදි කාන්තාව මිය ගොස් සිටින පාතාල කල්ලි නායක සොත්ති උපාලිගේ දියණිය බවට හෙළි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
පොලිස් මූලස්ථානයේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කර සිටියේ.
පාතාල ප්‍රභලයෙකු වූ අරඹවෙලගේ දොන් උපාලි රංජිත් හෙවත් සොත්ති උපාලි 1998 දෙසැම්බර් මාසෙදි තමන්ට පෙනී හිටින්නට වුණු නඩු විභාගයක් අවසන් කර පැමිණ බස් රියෙන් බසින උපාලි වෙඩි වරුසාවකට ලක්ව මරුමුවට පත්වෙනවා.
මහා පරිමාණ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ (19) පස්වරුවේ විශේෂ වැටලීමක් සිදුකර තිබේ.
එහිදී පළමුව අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ 38 හැවිරිදි කාන්තාවකි.
ඇයගෙන් හෙළිකරගත් තොරතුරු අනුව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනෙන්නේ උතුරු තලංගම සහ කඩුවෙල හේවාගම යන ප්‍රදේශවලිනි.
ඔවුන් 27 සහ 29 යන වයස්වල පුද්ගලයන් බව පොලිසිය පවසයි.
කඩුවෙල හේවාගමදී අත්අඩංගුවට පත් සැකකරු සතුව තිබූ රුපියල් පන් කෝටි අනූලක්ෂ පනස්එක්දහස් අටසිය විස්සක මුදලක් සොයාගන්නට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැටලීමේදී සමත්ව තිබේ.