“හැසිරීම අන්තිමයි..වෛද්‍යවරයෙක්ද මේ ” අටමස්ථානාධිපති හිමි ඉදිරියේ යකා නැටූ පැණි ධම්මිකගේ හැසිරීම ගැනද පරීක්ෂණයක් කළ යුතුයි
කොවිඩ් 19 වෛරසයට එරෙහිව පැණියක් නිපද වූ බව කියන ධම්මික බණ්ඩාර නැමැත්තා ඊයේ (16) අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේ ඉදිරියේ හැසිරුණ ආකාරය ඉතා කණගාටුදායක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ අද (17) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
පැණිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවන අතර ඔහුගේ හැසිරීම ගැනද පරීක්ෂණයක් කළ යුතු වන බව වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පැවසීය.
මෙම පැණිය ගැන පරීක්ෂා කිරීම සඳහා කමිටුවක් පත්කර තිබෙන මොහොතක මෙම තැනැත්තාගේ හැසිරීම පිළිගත නොහැකි අතර ඔහු පවසන අන්දමට වෛද්‍යවරයෙක් නම් එම හැසිරීම වෛද්‍යවරයෙකුටද නොගැළපෙන බව අළුත්ගේ මහතා කියා සිටියේය.
එම සිද්ධියේදී ජනතාවට දෙන පණිවිඩය සුභවාදී නොවන හෙයින් එම සිද්ධිය සම්බන්ධයෙන් වෙනම පරීක්ෂා කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
”මෙතැනදී අපි තේරුම් ගන්න ඕන කාරණය තමයි දේශීයත්වයට අභියෝග කිරීමකට වඩා මෙතැනදී සිද්ධ වෙන්නේ මේ කාරණයේදී පාර්ශව දෙකක් අපි දකිනවා. අන්තගාමී විදිහට කටයුතු කරන පාර්ශව දෙකක්. විශේෂයෙන් විරුද්ධ පක්ෂයේ සමහර දේශපාලකයින් අපි දකිනවා දේශීය කවර දේ ආවත් හොයා බැලීමක් කිසිවක් නැතිව දේශීයත්වයට පයින් ගහල යන්න තමයි ඒ අය කටයුතු කරන්නේ. විදේශයෙන් එන ඕන දෙයක් හිස් මුදුණින් පිළිගන්නවා. දෙවෙනි කණ්ඩායමක් ඉන්නවා දේශීය මොන දේ ආවත් කිසිදු හොයා බැලීමකින් තොරව වැළඳ ගන්නවා. ජනතාවටත් ඒක කියනවා. මේ දෙපාර්ශවයම අපි ප්‍රතික්ෂේප කරනවා. මේක නෙවෙයි සිද්ධ විය යුත්තේ. විදේශයෙන් එන දේට සීමා පනවනවා වගේ දේශීය හොඳ දේ පිළිගත යුතුවෙනවා. මේ පදනම මත අපි කියන්නේ ඊයේ සිද්ධිය ඉතාම කණගාටුදයක සිද්ධියක්.” යැයි හෙතෙම සඳහන් කළේය.
මෙවැනි දෙයක් සිදු වූයේ ඇයිද යන්න පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුවිය යුතු බව ද මෙවැනි ක්‍රියාකාරකම් හරහා දේශීය දේට තැනක් තිබෙනවා නම් එය අහිමි වීම සිදුවන බවද ඔහු ප්‍රකාශ කළේය.
ධම්මික බණ්ඩාර නමැත්තාගේ මේ පැණිය පරීක්ෂා කිරීම කඩිනම් කරන ලෙස අගමැතිවරයාත් උපදෙස් දී තිබෙන පසුබිමක ඊයේ දින රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා ඇත්තේ ඊට අදාළ මූලික ලියකියවිලි හෝ මේ තැනැත්තා විසින් ජාතික පර්යේෂණ සභාවට ලබා දී නැති බව වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පැවසීය.
එය ආයුර්වේද ඖෂධයක් ලෙස නම් ලියාපදිංචි කරන්නේ එය ආයුර්වේද වෛද්‍ය කර්මය තුළ භාවිතා කිරීමේ කිසිදු වැරැද්දක් නැති නමුත් බටහිර වෛද්‍ය විද්‍යාව උගත් වෛද්‍යවරු ලෙස නොදන්නා දෙයක් භාවිතා කිරීමට නොහැකි බවද වෛද්‍ය හරිත අළුත්ගේ මහතා වැඩිදුරටත් කියාසිටියේය.