කාන්තාවට සමානාත්මතාවය ලබාදීමට ආදේශ කිරීම් අවශ්‍ය නැහැ – මධු දිසානායක
කාන්තාවකට සමානාත්මතාවය ලබා දීමට ඈ මවක, දියණියක, නැගණියක විය යුතු වන්නේ, හෝ වෙනත් අන්දමකින් ආදේශ කිරීමක් ඈ වෙත අවශ්‍ය නොවන බවත්, කාන්තාවකට හිමිවිය යුතු සමානාත්මතාවය ඈ කාන්තාවක නිසා ලබා දිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකා නියෝජිත මධුෂා දිසානායක මහත්මිය අවධාරණය කරයි.
ඈ මේ බව පැවසුවේ කොවිඩ්-19 වසංගතය තුළ ජනගහනයේ ගෘහස්ත හිංසනයන් සිදුවීම පිළිබඳ පෞද්ගලික නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමිනි.
වර්තමාන සමාජය තුළ කාන්තාව දෙස බලන ආකාරයේ බරපතල ගැටළු පවතින බවත්, එසේ බලන අන්දම වෙනස් විය යුතු බවත් ඈ පෙන්වා දෙන්නීය.
කාන්තාවද පුරුෂයා මෙන් ජනගහනයේ කොටසක් වන අතර, පුරුෂයින් මෙන් කාන්තාවන් ද මෙලොවට බිහිවන්නේ සමාන අන්දමින් බවත් ඈ කාන්තාවක් වී ඉපදීම තුළ විශේෂ කුසලතා රැගත් මනුෂ්‍යයකු බවට පත් නොවන බවත් පෙන්වා දෙන මධුෂා දිසානායක මහත්මිය අවධාරණය කරේ මෙම දුර්මතය තුළ කාන්තාවක් වී ඉපදීම මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් කටයුතු සිදුකළ යුතු යැයි, හෝ ඇඟළුම් කටයුතු සිදුකළ යුතු යැයි ආදී සමාජ සම්මතයන් අප විසින් නිර්මාණය කර ගනිමින් පවතින බවයි.
මේ අනුව කුසලතා පිහිටීම හෝ වෙනත් හැකියාවන් ඇති බව ස්ත්‍රී-පුරුෂ සමාජභාවය අනුව තීරණය වන කරුණක් නොවන බව ඈ පවසා සිටියාය.
ගෘහස්ත හිංසනය පිළිබඳ අදහස් දක්වමින් මධුෂා දිසානායක මහත්මිය පෙන්වා දුන්නේ හිංසනය කාන්තාවන්ට මෙන්ම පුරුෂයින්ට ද පොදු කරුණක් විය හැකි බවත්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය කාන්තා පුරුෂ දෙපාර්ශවයටම ක්‍රියාත්මක වන බවත් ය.
පහර කෑමට ලක්වීම තුළ ප්‍රතිපහර නොදෙන්නේ නම්, ඔහු පිරිමියකු නොවේ යැයි ද, මෙම පැණය එලෙසම කාන්තාව වෙත යොමු නොකරන බවද සමාජය විසින් සාදා ගෙන තිබෙන සම්මතය තුළින්ම පෙන්නුම් කරන්නේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ අසමානාත්මතාවය බවත්, ඒ තුළින් ප්‍රචණ්ඩත්වය යනු කාන්තාව විසින් විඳ දරා ගෙන සිටිය යුත්තක් ය යන්න විඥාණය තුළ තැන්පත් ව පවතින බවද ඈ අවධාරණය කළාය.
ඒ අනුව සමාජය තුළ වැඩි වශයෙන් ගෘහස්ත හිංසනයට ලක්වන්නේ කාන්තාව බව ද ඇය සඳහන් කළා ය. මෙම තත්ත්වය පුරුෂ මූළික සමාජ ක්‍රමය (patriarchal society) තුළ වැඩි බලයක් පුරුෂ පාර්ශවය වෙත පවරා තිබීම ඔස්සේ සුලභව හට ගන්නා බවට සිය කරුණු දැක්වීම තුළ ඈ පෙන්වා දුන්නාය.
මෙම සන්දර්භය තුළ කාන්තාව ආර්ථික වශයෙන්, මනෝමය වශයෙන් හා සමාජීය වශයෙන් ශක්තිමත් නොවන්නේ නම් ඈ පිළිබඳ සමාජය විසින් ගොඩනඟා ගනු ලබන ප්‍රතිරූපය හමුවේ වඩාත් ආන්තිකරණයකට ලක්වන බව ඈ පෙන්වා දුන්නාය.
කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කොටගත් හිංසනයේ යම් වැඩිවීමක් පෙන්නුම් කරන බවත්, ගෘහස්ත හිංසනයේ පැතිකඩක් ලෙස කාන්තාවක් නිවස තුළ නියෝජනය කළ භූමිකාව තුළ දෛනිකව ඈ වෙත පැටවූ පීඩනයේ ඉහළ යාමක් සිදුව ඇති බවද ඈ වැඩිදුරටත් අවධාරණය කළාය.
MIAP