සිංහරාජය මැදින් පාරවල් තැනීම නොහොත් රක්ෂිත වනාන්තර කොටුරූල් කිරීම
මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකිරීම් සැලසුම්කරණය කරන ලදුව, ශ‍්‍රී ලංකා යුද හමුදාව මගින් ඉදිකිරීම් පහසුකම් සපයමින් නෙළුව සිට ලංකාගම හරහා දෙනියාය යාකෙරෙන පරිදි සිංහරාජය මැදින් මාර්ගයක් ඉදිකරන්නට කටයුතු කිරීමත් සමග දැනටමත් පාරිසරික හානියක් සිදුවී ඇති අතර, පරිසර ක්ෂේත‍්‍රයේ මහත් කැළඹීමක්ද හටගෙන තිබේ. දැයේ හදවත බඳු සිංහරාජ වනාන්තරය, දත් තිස්දෙක මැද්දේ පවතින දිව පරිද්දෙන් හතර වටින් ජනාවාසවලින් වටවී ඇති අතර, නැති වෙන්නට ඉඩ නොදී සංරක්ෂණවේදීන් විසින් ආරක්ෂා කරගෙන එනු ලබන්නේ දැඩි ආයාසයකිනි. එවන් විටෙක ඒ හරහා මාර්ග ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීම යනු නොකළ යුතු, අහස පොළොව නුහුලනා අපරාධයකි. තවමත් පරිසරය ගැන නොහිතා කටයුතු කරන අඳ බාලයන් මෙරට සිටින බවට මෙය උදාහරණයකි.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර යන දිස්ත‍්‍රික්කයන්ට මැදිව, දකුණු හා සබරගමුව පළාත් දෙකට අයත්ව පිහිටා ඇති සිංහරාජය, හෙක්ටයාර් දහසකට පමණ සීමා වූ, සාපේක්ෂව ඉතා කුඩා නොඉඳුල් වැසි වනාන්තරයකි. ශ‍්‍රී ලංකාවේ සමස්ත භූමි ප‍්‍රමාණය අනුව සැලකූ කල මෙය ඉතා කුඩා, නොගිනිය හැකි ප‍්‍රමාණයේ වනාන්තරයකි. එනම්, නැගෙනහිර දෙස සිට බටහිර දිශාවට පටියක ආකාරයෙන් විහිද පවතින මෙහි උපරිම දිග කිලෝමීටර් 21 ක් (සැතපුම් 13 ක්) හා උතුරු-දකුණු දිශානුගතව එම වනාන්තර පටියේ උපරිම පළල කිලෝමීටර් 7 (සැතපුම් 4.3) කි. එනමුත් ජෛව විවිධත්වයෙන් අනූන, අතිශය වටිනා ප‍්‍රාථමික, නොඉය්න්දුල් වැසි වනාන්තරවලින් සමන්විත සිංහරාජය, ජාතික උරුම වනභූමි පනතෙන් අරක්ෂා කෙරෙන ශ‍්‍රී ලංකාවේ එකම ජාතික උරුම වනාන්තරය වන අතර, 1978 දී ජාත්‍යන්තර මිනිසා සහ ජෛවගෝල රක්ෂිතයක් හා 1988 දී ලෝක උරුම වනාන්තරයක් ලෙස යුනෙස්කෝ සංවිධානය මගින් ප‍්‍රකාශයට පත්කරන ලද්දකි.
ජෛව විවිධත්ව සාන්ද්‍රණය (Biodiversity Hotspot) අතින් ඉතා ඉහළ වටිනාකම් සහිත වනාන්තර මෙරට ඇත්තේ දකුණු ලක තෙත්කලාපයේ බව කවුරුත් දන්නා කාරණයකි. ඒ අතරින් සිංහරාජය පවතින්නේ ඉහළම ස්ථානයේය. මෙවන් නොඉඳුල් වනාන්තර ලොව හමුවන්නේ නිවර්තන කලාපයට අයත් ලොව සීමිත ප‍්‍රදේශයක පමණි. ඒ අනුව සිංහරාජය අපට ලැබී ඇති සොබාදහමේ අමිල දායාදයකි. එවන් වනාන්තර සුරක්ෂිත කරන්නට ලොවක් කතාකරන මොහොතක මෙවන් වනාන්තරයක් මැදින් බුල්ඩෝසර යවන්නට කටයුතු කරන කවර හෝ පුද්ගලයකුට තදබල මොළේ අමාරුවක් ඇති බව අපගේ වැටහීමය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ රජය සමයේදී ද මෙසේ සිංහරාජය මැදින් පාරක් කපා රත්නපුර දිස්ත‍්‍රික්කයේ පොතුපිටිය ඉලූඹකන්ද හා (රක්වාන) සූරියකන්ද යාකරන්නට එක්තරා දේශපාලකයකු කටයුතු කළේය. (ඔහු වත්මන් රජයේද රාජ්‍ය ඇමැති ධුරයක් දරයි) නමුත් පරිසරවේදීන්ගේ හා මහජන විරෝධය මත එය නවතා දමන්නට එවක රජයට සිදුවිය. එහෙත් එය එකවරම නතර කරනු වෙනුවට එකල රජය කරනු ලැබුවේ මේ ගැන සොයා බලන්නට කමිටුවක් පත්කිරීමය. අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පරිසර ඇමැතිවරයා ලෙස කටයුතු කරන සමයේදී සිදුකළ මෙම කමිටු පත්කිරීම නිසා එදා එම වනගත මාර්ගය ඉදි නොකර අතහරිනු ලැබුවේ මහාචාර්ය නිමල් ගුණතිලක මහතාගේ නායකත්වයෙන් යුත් අදාළ කමිටුව මගින් මාර්ග ඉදිකිරීමට එරෙහිව හා සිංහරාජයේ අද්විතීයත්වය පැහැදිලි කරමින් එය සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව වාර්තාව පිළිගන්වමින් සපථ කළ නිසාය. අවසානයේ ඒ විනාශය නතර කරගන්නට හැකිවිය.
එදා එසේ බේරුණු සිංහරාජය අද යළිත් අනතුරට භාජන වී ඇත්තේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ නෙළුව සිට වනගත ගම්මානයක් වන ලංකාගම ඔස්සේ මාතර – දෙනියායට වනය මැදින් මාර්ගයක් සැකසීම නිසාය. එසේම, පෙර කී ඇමැතිවරයාද තමන් යෝජනා කළ සූරියකන්ද මාර්ගයත් සිංහරාජය හරහා යළි ඉදිකරන්නට මේ අනුව ඉල්ලා සිටින්නට ඉඩ තිබේ. ඒ අනුව එක් එක් අයගේ ඉල්ලීමට අනුව සිංහරාජය (හෝ රක්ෂිත වනාන්තර) තුළ මාර්ග ඉදිකිරීමට හෝ වෙනත් සංවර්ධන වැඩ කරන්නට ඉඩ දෙන්නේ දැයි අපි රජයෙන් ප‍්‍රශ්න කරමු.
නව මාර්ගය තැනීම යුද හමුදාව මගින් සිදුකෙරෙන අතර, මාර්ගයේ අධීක්ෂණය සිදුකරනු ලබන්නේ පෙර කී පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය මගිනි. ඔවුන් දෙකොටසම පවසන්නේ ලංකාගම වෙසෙන ජනතාවගේ ඉල්ලීම පරිදි මෙම මාර්ගය ඉදිකිරීම ආරම්භ කළ බවයි. සැබවින්ම අන්ත දෙකක් ලෙස සලකා බැලූවහොත් මේ ඉදිකරන්නේ මාර්ග එකක් නොව, මාර්ග දෙකකි. ඒ අනුව දැඩි පාරිසරික ව්‍යසනයක් මෙහි සිදුවන අතර, මේ විනාශය වහා නවතා දැමිය යුතු බව අපගේ යෝජනාවයි.
නමුත් පුදුමය නම්, වනාන්තරයේ සංරක්ෂණ අයිතිය දරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ පරිසරයට හානියක් නොවන පරිදි ගස් කිහිපයක් පමණක් කපමින් ගස් අතරින් මාර්ගය ඉදිකළ හැකිය යන්නය. මේ වන සංරක්ෂණය කුමක්ද යන්න අපට නොතේරේ. ඔවුන් මෙවන් තත්ත්වයක් යෝජනා කරන්නේ ශ‍්‍රී ලංකාවේ වැදගත්ම වැසි වනාන්තරයට හා ලෝක උරුම වනාන්තරයකට බව තැකීමක් කර නැති බව එම ප‍්‍රකාශයෙන් පැහැදිලි වේ. කෙසේ හෝ ජනාධිපතිවරයා විසින් මෙම මාර්ගය ඉදිකිරීම තාවකාලිකව නවතන්නට නියෝග දී ඇත.
පරිසර සංවේදී හැ`ගීමක් ඇත්තෝ සහ මේ මිහිතලයේ, සිංහරාජ වනාන්තරයේ ජලය, සුළඟ විඳින්නෙක් වේ නම් ඔහු කරනු ඇත්තේ සිංහරාජය තුළ පිහිටි ලංකාගමට පාරක් ගෙන යනු වෙනුවට, ලංකාගම එතැනින් ඉවත්කර මාර්ගයක් අසබඩට ගෙනයෑමය. ඔවුන් ඉල්ලන්නේ පාරක් නම් පාරක් අද්දරට මෙවන් ගම්මාන ගෙනයාම කිසිසේත් අසාධාරණ ක‍්‍රියාවක් නොවන බව ලියුම්කරුගේ අදහසයි. ඒ නැතිව මෙවන් උතුම් වනාන්තරයක් තුළින් බුල්ඩෝසර යොදා මාර්ගයක් තැනීම, ගමේ භාෂාවෙන් කීම නම්, හෙණ ඉල්ලන අපරාධයකි.
දකුණු ලකට හොඳ වාතය, ජලය, දිය සීරාව, තෙතමනය ලබා දෙන්නේ අනිකක් නොව සිංහරාජයමය. වැඩිමනත් කන්නෙලිය, නාකියාදෙනිය හා දෙදියගල රක්ෂිත වනාන්තර සංකීර්ණයි. මෙම වනාන්තර අද එහි නොමැතිනම්, ගිං ගඟ වැනි වසරේ වරින් වර දෙගොඩ තලා යන ගංගා, ඇළ, දොළ එහි ජලය රැගෙන නොඑනු ඇත. තෙතමන වායු දහරා රැගත් සුළං රැළි එම අහසේ සැරි නොසරනු ඇත. දහසකුත් එකක් පක්ෂීන්, මත්ස්‍යයන්, උභයජීවීන්, ක්‍ෂීරපායින්, කෘමීන්, මොලස්කාවන් යනාදී සත්වයන්ටත්, ක්ෂුද්‍ර පැළෑටියේ සිට වියන, නෙරුව සාදන සුවිසල් වෘක්ෂ දේවතාවුන් දක්වා රුක් සන්තතියටත් වාසස්ථානයක් නැතිවනු ඇත.
එනමුත් මේ බව නොදන්නා හෝ දැනගෙනත් නොදන්නවා මෙන් කටයුතු කරන සොබාදහමේ කොල්ලකරුවන්ට අපට කියන්නට ඇත්තේ මේ මහා වන අපරාධ ජාති ජාතිත් පලදෙන, ආත්ම ගණනක් ගෙවාත් නිමකරගන්නට නොහැකිවනු ඇති කරුමයකට හේතු වන බවකි.
එසේ හෙයින් මෙසේ සිංහරාජය දික් රූල් කර, කොටු රූල් කර, සිංහරාජය මැදින් පාරවල් කපන්නට නියෝග දෙන, තීන්දු තීරණ දෙන උන් හඳුනාගත යුතු අතර, මොවුන් ලොවට හෙළිදරව් කරමින්ද නොනැවතී උන්ගේ පවුල් පිටින් සොබාදහමේ ශාපයට ගොදුරු කිරීමට දෙස් දෙවොල් දීම පරිසර හිතකාමීන් විසින් කළ යුතුය.
ජගත් කණහැරආරච්චි