ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට පටහැනි ලෙස ජනපති ගෝඨාභයට ආරක්ෂක ඇමති පදවිය දැරිය හැකිද?
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ප්‍රකාර ජනාධිපතිවරයාට අමාත්‍ය පදවියක් දැරීමට නෛතික හැකියාවක් නොතිබුනද ව්‍යවස්ථාවට පටහැනි ලෙස මෙවර අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී ද ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතට පත්කොට තිබේ.
19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුල් කෙටුම්පතෙහි විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින් විධායක බලය අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලයකට පැවරීමට අවශ්‍ය විධිවිධාන ඇතුළත් විය.
නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකින් එම වගන්ති ඉවත් කර තිබෙන අතර, 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැණි නොවුණද එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත වී, අනතුරුව ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබේ.
කෙසේවෙතත්, ඉහත කී සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවිය.
19 වෙනි සංශෝධනය මගින් ජනාධිපති ධූර කාලය වෙනස් කෙරිණි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර ,පෙර පැවති වසර හයක ධූර කාලය වෙනුවට එය වසර පහකට සීමා කර ඇත. එමෙන්ම, දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකිය.
ජනාධිපති ධුරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි බවට වු ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වෙනි සංශෝධනයෙන් ලැබී ඇත.
එමෙන්ම, රාජ්‍ය පරිපාලනයට අදාළ කොමිෂන් සභා පිහිටුවීම, අධිකරණ විනිසුරුවරයන්, නීතිපති සහ පොලිස්පති වැනි තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේ දී පෙර පැවති ජනාධිපති බලය සීමා කර තිබේ.
19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ 51 වෙනි වගන්තිය අනුව, “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පටහැණිව කුමක් සඳහන් වුවද ජනාධිපති ධුරය දරණ තැනැත්තා, එම කාලය අවසන් වන තෙක් රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂය සහ ඒවාට අදාළ කාර්යයන් තමන් යටතට පවරා ගත හැකිය. එකී කාර්යය ඉටු කිරීමට ඔහු හෝ ඇය වෙත පවරා ගත යුතු අමාත්‍යාංශ තීරණය කිරීම ද කළ හැකිය.”
එහි දැක්වෙන අන්දමට ජනාධිපතිවරයාට එම විෂයයන් දැරීමේ බලය දී තිබුණේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සිදුවන අවස්ථාවේ පදවිය දැරූ (මෛත්‍රීපාල සිරිසේන) ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසාන වනතෙක් පමණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාරිනී ආචාර්ය දිනේෂා සමරරත්න කියා සිටියේ, “43 සහ 44 වගන්තිවලට අනුව ජනාධිපතිට පුළුවන් අමාත්‍යාංශ වෙනත් අයට භාර දෙන්න. නමුත් 19 වෙනි සංශෝධනයේ අවසාන වගන්තියෙන් (51 වෙනි වගන්තිය) විෂයන් තුනක අමාත්‍යංශ ජනාධිපති යටතේ තබා ගන්න පුළුවන් බලතල දීලා තිබෙනවා,” යනුවෙනි.
“අවසාන වගන්තියේ සඳහන් විෂයන්වලට අදාළ නොවන අමාත්‍යාංශ ජනාධිපතිතුමා යටතට ගැනීම කළ නොහැකියි. නමුත්, මේ වගන්තිවල සඳහන් සියල්ල යම් කෙනෙකු අභියෝගයකට ලක් කළ අවස්ථාවක දී අර්ථ නිරූපණය කරන්න පුළුවන්,” ආචාර්ය දිනේෂා සමරරත්න තවදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ, “ජනාධිපතිවරයාට තමන් යටතේ තියා ගන්න පුළුවන් අමාත්‍යාංශය ගැන මේ වනතෙක් කිසි කෙනෙක් අභියෝගයට ලක් කරලා නැහැ,” යනුවෙනි.
මෙම තත්වය තුල වත්මන් ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යංශය තමන් යටතේ රදවා ගැනීම පිලිබදව මේවනවිට ඇත්තේ ව්‍යස්ථා අර්බුදයකි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සිදුකරන මොහොතේ එවකට ජනාධිපතිධුරය දරූ මෛත්‍රිපාල සිරිසේන මහතාට ඔහුගේ ධුරකාලය අවසන් වන තෙක් රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂය සහ ඒවාට අදාළ කාර්යයන් තමන් යටතට පවරා ගත හැකි වුවද වත්මන් ජනාධිපතිවරයාට එවැනි බලයක් හිමි නොවන බව නීති විශාරදයින්ගේ මතයයි.
මේ අනුව මෙම ගැටළුව විසදාගැනීම සදහා යම් පුද්ගලයෙක් හෝ සංවිධානයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම ගැටළුව අභියෝගයට ලක්කල යුතුවේ. මන්ද ව්‍යවස්ථාව අර්තකථනය කිරීමේ අවසාන තීරකයාවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය වන බැවිනි.