ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ප්‍රබල පාතාල නායකයන්ගේ විමර්ශන පොත් 50ක් පොලිසියෙන් අතුරුදන් – තවත් පොත් 20ක පිටු නෑ

ප්‍රබල පාතාල නායකයෙක් වන ආමි සම්පත්ට අදාළ තොරතුරු ඇතුළු වසර විස්සකට අධික කාලයක් තිස්සේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ තිබූ සුවිශේෂී අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ සටහන් ඇතුළත් පනහකට අධික පොත් ප්‍රමාණයක් අස්ථානගත වීමේ සිද්ධියක් පිළිබඳ පොලිස් මූලස්ථානය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මීට අමතරව ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ තිබූ තොරතුරු පොත් විස්සක පමණ පිටු ගලවා ඉවත් කර ඇතැයිද වාර්තා වනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියට අලුතින් පත්ව පැමිණි පොලිස් ස්ථානාධිපතිවරයා, එම රාජකාරි ආරම්භ කිරීමට යෑමේදී මෙම පොත් සම්බන්ධයෙන් කර තිබූ සටහන් පරීක්ෂා කිරීමෙන් පසු පොත් පනහක් අතුරුදන් වී තවත් පොත් විස්සක පිටු ගලවා ඉවත් කර තිබෙන බව අනාවරණය වුණා.

ඒ අනුව මේ පිළිබඳව බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මේ පිළිබඳ සෙවීම සඳහා ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි පී.එච්. මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

2001 වර්ෂයේ සිට පසුගිය කාලසීමාව තුළ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය භාරයේ තිබූ සුවිශේෂී අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව සිදුකළ විමර්ශන හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අදාළ සටහන් හා තොරතුරු ඇතුළත් පොත් ගණනාවක් මෙලෙස අතුරුදන් වී ඇතැයිද හෙළි වී තිබුණා.