ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සමාජයට විහිළු සපයන්නේ නැතුව ‘සෞඛ්‍ය නිර්දේශ‘ වහා සංශෝධනය කරන්න – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු

ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් මාර්ගෝපදේශ හතළිස් හය යළි සංශෝධනය කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගෙන් ​ඊයේ (28 ) ඉල්ලා සිටියා.

කොවිඩ් 19 වයිරසය ව්‍යාප්තිය පාලනය සඳහා වන මෙම මාර්ගෝපදේශ හතළිස් හය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (27 ) ප්‍රකාශයට පත් කළා.

මෙම මාර්ගෝපදේශ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බැවින් සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ප්‍රා​යෝගිකව නොසිතා සමාජයට විහිළු සපයන ආකාරයෙන් මෙම මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සකස් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

කුලී රථ සේවා, ත්‍රිරෝද රථ භාවිතය, බයිසිකල් පැදීම, ඇවිදීමේ මංතීරු, සම්මන්ත්‍රණ හා වැඩමුළු, උපකාරක පන්ති, ප්‍රසිද්ධ රැස්වීම් ඇතුළු ක්ෂේත්‍ර හතළිස් හයක් සඳහා සකස් කළ මෙම මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් ජනාධිපතිවරයා වෙතද ඉදිරිපත් කර තිබුණා.

මෙම මාර්​ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේදී අදාළ ක්ෂේත්‍රයට අවශ්‍ය වන සෞඛ්‍ය උපදෙස් සහ සෞඛ්‍ය සහතික පළාත් පාලන ආයතවලින් ලබා ගැනීමට නිර්දේශ කිරීම විහිළුවක් බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කළා.