කුවේට්හි සිටින අනවසර ශ්‍රී ලාංකිකයන් 19000 ක් අවදානමේ !
කුවේට් රාජ්‍යයේ අනවසරයෙන් රැඳී සිටින සියලු විදේශිකයන්ට රටින් පිටවන්නැයි එරට රජය දැනුම් දී තිබෙනවා. අනවසර සංක්‍රමණිකයන්ට රටින් පිටව යාම සඳහා පොදු සමා කාලයක් ලබාදුන් අතර එම කාලසීමාව ඉක්මවා ගොස් දින කිහිපයක් ගත වී තිබෙනවා.
ශ්‍රී ලාංකිකයන් ලක්ෂයකට වැඩි පිරිසක් එරට රැකියාවල නිරතව සිටින අතර ඒ අතර වීසා කාලය ඉක්මවා රැඳී සිටින පිරිස 19,000 කට ආසන්න බවයි වාර්තා වන්නේ. ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටී.
පසුගිය 19 වැනිදා කුවේට්හි සිට මෙරටට පැමිණි පිරිස අතරින් කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් රැසක් හමු වී තිබේ. ඉතිරි පිරිසද නැවත පැමිණියහොත් මෙරට ආසාදිතයන් ප්‍රමාණය තවදුරටත් ඉහළ යනු ඇත.
මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් කුවේටයේ රැඳී සිටින පිරිස අතර ද කොවිඩ් ආසාදිතයන් සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසන්නේ කුවේට් බලධාරීන්, වසංගත තත්වයකදී ලෝකය විසින් පිළිගත් සම්මුතීන්ගෙන් බැහැරව කටයුතු කරන බවයි. එරට බලධාරීන් විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන බවට රජයේ වෛද්‍ය නිළධාරීන් චෝදනා කරනවා.
මේ නිසා කුවේට්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමේදී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළයුතු බව රයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් අතරින් ද ආසාදිතයන් හමු වී ඇති අතර මේ නිසා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමේදී අනුගමනය කරන ක්‍රමවේද වෙනස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති තිබේ. ඊට අදාල නව ක්‍රමවේද සකස් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර තිබුණේ.