“සුව විරුවන් රූපවාහිනියට පමණක්ද” දීමනා කැපූ නිසා හෙද නිලධාරීන් මහපාරට..!
මධ්‍යම පළාත් සභාව මගීන් තමන්ට ලබා දීමට තිබූ දීමනා කප්පාදු කිරීම සහ ප්‍රවාහන පහසුකම් ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද (26) දින පෙරවරුවේ දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහල ඉදිරිපිට දී හෙද නිලධාරීන් පිරිසක් නිහඬ විරෝධතාවක නිරත වුණා.
“සුව විරුවන් රූපවාහිනියට පමණක්ද”, “රාජකාරිය ගන්නා තෙක් සෞඛ්‍යසේවය සුව විරු වේ” යන ආදී වදන් සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම හෙද නිලධාරීන් විරෝධතාවයේ නිරත වූ බවයි වාර්තාකරු පැවසුවේ.
මෙම අවස්ථාවට දඹුල්ල මූලික රෝහලේ හෙද නිළධාරීනියන් හා නිළධාරීන් 20 කට අධික සංඛ්‍යාවක් සහභාගී ව තිබූ අතර එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ දඹුල්ල ශාඛාවේ ලේකම් සමන් විජේරත්න කියා සිටියේ මධ්‍යම පළාත් සභාව මගින් තමන්ට ගෙවීමට නියමිතව තිබූ දීමනා රැසක් මේ වන විට කප්පාදු කර ඇති බවත් තමන්ට නිසියාකාරව මේ වන තෙක් ප්‍රවාහන පහසුකම් ලබා නොදීම හේතුවෙන් මෙම නිහඩ විරෝධතාවය පවත්වන බවයි.
එසේම මෙම නිහඩ විරෝධතාවයෙන් අනතුරුව හෝ තමන්ට නිසියාකාරව ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලෙසද ඔහු ඉල්ලීමක් කර සිටියා.
එසේම සෞඛ්‍ය අමාත්‍යවරිය තමන්ට හෙද විරුවන් සුව විරුවන් යනුවෙන් පවසමින් හෙද නිලධාරීන්ගේ හෝ සෞඛ්‍ය සේවයේ දීමනා කප්පාදු නොකිරීමට පවසා තිබියදී ඇයගෙන් පහල නිළධාරීන් අමාත්‍යවරියගේ නියෝග ක්‍රියාත්ම නොකරන බවත්, ඇයගේ නියෝග ක්‍රියාත්මක කරමින් සෞඛ්‍ය සේවයට අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියා.





