රුපියල් පන්දහසේ දීමනාව සහ ජනතාවගේ හෙට දවස
අප්‍රේල්19 දින එක්තරා රූපවාහිනී නාලිකාවක 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ දී දින 20 ක් වයසැති බිළිඳෙකු අතැතිව සිඟමනේ යෙදෙන තරුණ මවක් දකින්නට ලැබුණි. එම කාන්තාවගේ සැමියා ද මාර්ගයේ ගමන් ගන්නා වාහනවලින් සිඟමන් යදිමින් සිටියේ තවත් දරුවකු වඩාගෙනය. ඒ ඔරුගොඩවත්ත ඉඟුරුකඩේ හංදියේදී. “රස්සාව කළා මං, ඔය බ්ලොක් ගල් ගහන ඒවා. දැං ඉතින් ඒවා කරගන්නත් විදියක් නැහැ. ඉතිං ළමයින්ට කන්න බොන්න විදියකුත් නැහැ. ළමයාට තාම දවස් 20ක් වෙන්නේ හම්බවෙලා මෙයාට. ඉතිං දැන් මහ පාරේ එකතු කරනවා“, ඒ ළමයින්ගේ තාත්තා කියූ කතාවයි.
මේ අතර පසුගිය සතියේ දී දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවේ දී උකස් මධ්‍යස්ථාන ඉදිරිපිට ජනතාව පෝලිම් ගැසී සිටිනු අද දෙරණ කැමරාවේ සටහන් විය. ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ සෙසු ප්‍රදේශවල ද එයාකාරයෙන් උකස් කඩ ඉදිරිපිට ජනතාව පෝලිම් ගැසී සිටියහොත් ඒ ගැන විශේෂයෙන් පුදුම වීම අවශ්‍ය වන්නේ නැත.
කොවිඩ්-19 වසංගත තත්ත්වයක් සමඟම රට මුහුණ දුන් සෞඛ්‍ය ගැටළුව හමුවේ ජනතාව ක්‍රමයෙන් මුහුණ පානු ලබන ආර්ථික ඛේදවාචකය සඳහා ඉහත සිද්ධීන් දෙක මනා සාක්ෂි සපයනු ඇත.
වසංගත ව්‍යාප්තිය පාලනය සඳහා රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොට මාසයක කාලයක් ඉක්ම ගොසිනි. මෙම කාලපරිච්ඡේදය තුළ දී සිය කර්මාන්තශාලා, ව්‍යාපාර ආයතන ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සේවකයින් හට ගෙවනු ලබන වැටුප්වල කප්පාදුවක් සිදුකරනු ලබන බව මහා පරිමාණ සමාගම් කිහිපයක් කල් ඇතිවම දැනුම් දී සිටියෝය. ඒ අතර තවත් සමාගම් ප්‍රධානීන් කිහිප දෙනෙකු කියා සිටියේ, කුමන තත්ත්වයක් මත වුවද තම කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ වැටුප් කප්පාදුවක් කිසිසේත් සිදුනොකරන බවයි.
තත්ත්වය මෙසේ තිබිය දී දෛනික ආදායම් ලබන්නන් මේ තත්ත්වය තුළ කබලෙන් ලිපට වැටුණු පිරිස බව හැඳින්වීම වරදක් නොවේ. මේසන් බාස්, ජලනල, විදුලි කාර්මිකයින් ඇතුළු ඉදිකිරීම් අංශයේ සේවකයින්, කොණ්ඩා කපන්නන්, බියුටි සැලූන්, වාහන අලුත්වැඩියා කරන්නන්, ලොතරැයි අලෙවිකරන්නන්, බස්රථ, ත්‍රී රෝද රථ රියැදුරන් සහ සේවකයින්, කෑම කඩ, හෝටල්, අවන්හල් හිමිකරුවන් සහ සේවකයින් යනාදී වශයෙන් එකී මෙකී නොකී විශාල දෛනික ආදායම් ලබන පිරිසක් පසුගිය මාසයක් පුරාවට සිය ආදායම් අහිමි වීමෙන් අසරණභාවයට පත්ව ඇත. එය ලීසිං කර ගත් මෝටර් රථයක්, පික්මී හෝ ඌබර් දුවා මසකට රුපියල් හැටදහසක පමණ ලීසිං වාරිකයක් ගෙවන පුද්ගලයාට ද එකම ඉරණම අත්කර දුන්නකි. එය ලොතරැයි අලෙවිකරුවාට මෙන්ම ලොතරැයි ඒජන්සියේ අයිතිකරුවාට ද දෛනික ජීවනෝපාය අහිමි කර ඇත. දෛනික ආදායමේ ප්‍රමාණය කුමක් වුවද, ඔවුන් මේ ආර්ථිකයේ කොටස්කරුවන්ය. නමුත් ආර්ථිකයට දායක වීමට ඇති අවස්ථාව ඔවුනගෙන් අහිමි කර ඇත්තේ රටේ සාමාන්‍ය ජන ජීවිතය අකර්මණ්‍ය වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලිනා ජෝජිවා (Kristalina Georgieva) පසුගිය දිනෙක කියා සිටියේ, කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් ගෝලීය ආර්ථිකයට ඇති කරනු ලබන බලපෑම 1930 මහා අවපාත (Great Depression) බලපෑමට වඩා වැඩි වනු ඇති බවයි.
1930 දී ඇමරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ වුණු මහා අවපාතය ලොව සෑම රටකටම පාහේ බලපෑවේය. එය 1929-1932 කාලපරිච්ඡේදය තුළ ලොව පුරා දළ දේශීය නිෂ්පාදිතය සියයට 15 කින් පහළ දමන්නට සමත් වී තිබේ. එය දුප්පත් පොහොසත් සියලු දෙනාගේ ආදායම් කෙරෙහි බලපෑවේය. ලොව පුරා ජාත්‍යන්තර වෙළෙඳාම සියයට 50 කින් එම කාලයේ දී පහළ වැටුණි. එසේම එක්සත් ජනපදය තුළ සේවා වියුක්තිය සියයට 23 ක් දක්වා ඉහළ යද්දි තවත් රටවල එය සියයට 33 ක් දක්වා ඉහළ ගියේ සමාජයීය ගැටළු රැසක් නිර්මාණය කරමිනි.
1931 දී මහා පරිහාණිය, එසේත් නැත්නම් මහා අවපාතය තුළ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ රැකියාවක් නොමැතිව සිටි අයෙක්, පුද්ගල මට්ටමේ සේවා වියුක්තිය පිළිබඳව කරණු ලැබූ ප්‍රකාශයක් පහතින් දැක්වේ. එය විරැකියාවේ නිෂ්ඵල බව මොනවට කියාපාන්නකි.
(උපුටා ගැනීම – ආර්ථික විද්‍යාව : සැමුවෙල්සන් සහ නෝර්ඩ්හවුස්)
“මම උදය පහට අවදි වී මුහුදු වෙරළ දෙසට පියනගමි. ස්ප්‍රෙකල්ස් සීනි කම්හලේ ගේට්ටුව පිටත දහස් ගණන් මිනිස්සු රැස් කකා සිටිති. රැකියා ඇබෑර්තු තුන හතරකට වඩා නැති බව හොඳින්ම දැන දැනයි, ඔවුන් එසේ රැස් කකා ඉන්නේ. කම්හල ඇතුළේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟ කිසිවෙක් එළියට එති. ‘මට කම්හලේ එක කොටසක වැඩට දෙදෙනෙකුත්, තවත් කොටසක වැඩට තව දෙදෙනෙකුත් පමණයි අවශ්‍ය වන්නේ‘. හරියට බලු රැලක් මෙන් එළියේ සිටින දහසක් දෙනා ඇතුළට යාමට පොර කති. එහෙත් ඇතුළට ගනු ලබන්නේ අපෙන් හතර දෙනෙකු පමණි.“
මේ අතර වොෂිංටන් පෝස්ට් පුවත් සේවය පසුගිය දා කියා සිටියේ මේ වන විට එක්සත් ජනපදයේ රැකියා වියුක්තිකයින්ගෙන් සංඛ්‍යාව මිලියන 22 ක් බවයි. සත්‍ය වශයෙන්ම එය ශ්‍රී ලංකාවේ ජනගහනයට සමාන ප්‍රමාණයකි.

ශ්‍රී ලංකාවේ රජයේ හා පුද්ගලික අංශයේ සේවකයින් පසුගිය ඇඳිරි නීති මාසයේ දී නිවෙස්වලට වී සිටිය ද එය සෑම දෙනාටම එකම අත්දැකීම ලබා දුන්නේ නැත. බොහෝ මධ්‍යම පාංතිකයින් ඔන්ලයින් ඩිලිවරි හරහා තම භාණ්ඩ අවශ්‍යතා සපුරා ගත්තේ ක්‍රෙඩිට් කාඩ් පතෙහි ඉතිරිව ඇති උපරිම සීමාව ද අපතේ නොහරිමිනි. මාළු ලොරි, එළවළු ලොරි, චූන් පාන් ත්‍රීවීල් නිවසේ දොරකට ලඟටම ආවද ඒවාට වියදම් කිරීමට ද අතේ සල්ලි තිබිය යුතුය. එසේ නොවූ කල, ඇඳිරි නීතිය ලිහිල් වූ විගස පෙර අප ප්‍රවෘත්ති විකාශයේ වූ අයුරින් උකස් මධ්‍යස්ථාන ඉදිරිපිට ජනතාවට පෙළ ගැසෙනවා හැරෙන්නට විකල්පයක් නොවනු ඇත. උකස් කරන්නට යමක් ඇති අය එසේ පෙළ ගැසෙද්දී එසේ නොමැති ජනයා කුමක් කළ යුතුද? ඊයේ රාත්‍රියේ දී දින 20 ක් වයසැති බිළඳා සමඟ සිඟමනේ යෙදෙන කාන්තාව ලබා දෙන්නේ ඊට පිළිතුරක් ද?
රුපියල් පන්දාහසේ දීමනාව සහ කේන්ස් ගේ පොදු න්‍යාය
දෛනික ආදායම් අහිමිව වීමෙන් අපහසුතාවයට පත් ජනතාවට රුපියල් පන්දහසේ දීමනාවක් ලබා දීමට පියවර ගත්තද එය කිසිසේත් ප්‍රමාණාත්මක වන්නෙ නැත.. එහෙත් ප්‍රතිපත්ති සම්පාදක මට්ටමේ දී කුමන ආකාරයේ තීන්දු තීරණ ගත්ත ද බිම්මට්ටමේ දී ඒවා ක්‍රියාත්මක කිරීමේ දී අනපේක්ෂිත ගැටළු පැනනඟින්නේ එම ක්‍රියාමාර්ගවල හිඩැස් පෙන්නුම් කරමිනි. එම දීමනාව ලබා ගැනීමට පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලකයාගේ සහාය පැතීමට ද ජනතාවට සිදුව ඇත්තේ එම හිඩැස්වල තරම කොපමණ දැයි කියා පාමිනි. නමුත් මෙවැනි සහනාධාරයක් කොපමණ කාලයක් පුරාවට ජනතාවට ලබා දිය හැකිද? ඒවා සුදුසුසන්ටම ලැබෙනවාද? ලංකාවට ලැබෙන විදේශ ආධාර සාදාරණ ලෙස ජනතාව අතර බෙදී යනවාද? යනා දී වශයෙන් අර්ථික හා සමාජයීය ගැටළු රැසක් පැන නැගීම මෙහිදී වැළැක්විය නොහැකි කරුණක් වනු ඇත.
1930 දී ඇති වූ මහා ආර්ථින පරිහානියට, සම්භාව්‍ය ආර්ථික විද්‍යා සිද්ධාන්ත හරහා උපකාරයක් නොලැබුණු කල, 1936 දී ජෝන් මෙනාඩ් කේන්ස් විසින් ඉදිරිපත් කළ ‘පොදු න්‍යාය‘ රාමුවට පිටින් පිහිටි සංකල්පයක් විය. ඔහු කියා සිටියේ ජනතාව අතට මුදල් ලබා දිය යුතු බවත්, ඒ හරහා භාණ්ඩවලට ඇති ඉල්ලුම වැඩි වී නිෂ්පාදනය ඉහළ ගොස් ආර්ථිකය වර්ධනය වනු ඇති බවත්ය. එහෙත් කේන්ස් කියා සිටියේ ජනතාවගේ අතට නිකම්ම සල්ලි දෙන්න කියා නොවේ. “කට්ටියකට කියන්න වලවල් කපාගන කපාගන යන්න කියලා. තව කට්ටියකට ඒ වලවල් වහගන වහගන යන්න කියන්න. දෙගොල්ලොටම සල්ලි දෙන්න. අතේ පැන්සයක් වත් නැතිව හිටපු මිනිස්සුන්ගේ අතට සල්ලි ගියාම භාණ්ඩ වලට තියෙන ඉල්ලුම වැඩි වෙලා නිෂ්පාදනය වැඩිවෙලා ආර්ථිකය වර්ධනය වෙනවා”.
රජය එක පැත්තකින් රුපියල් 5000ක් අතට දෙනවිට තවත් පැත්තකින් මේ අවස්ථාවේ කිසිසේත්ම අවශ්‍ය නැති මත්පැන්හල් විවෘත කරයි. දිවයිනේ ෙබොහේ ප්‍රදේශවල දිගු පෝලිම් මෙම මත්පැන්හල් අසළ දක්නට ලැබුනු අතර ඒ් අතරින් බහුතරය 5000 දිමනාවට හිමිකම් කියු දුප්පත් ජනතාවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහාකාර අධිපතිවරයෙකු වූ අශෝක හඳගම මහතා ඒ සම්බන්ධයෙන් තැබූ සටහනක් පහතින් දැක්වේ.
මාර්තු මාසයේ සිට අකර්මණ්‍ය වූ ආර්ථිකයේ සැබෑ ප්‍රතිඵල ඉදිරි මැයි, ජූනි මාසවල දී ලොව පුරා ජනතාවට අත්විඳීමට සිදුවනු ඇත. කොරෝනා උවදුර සම්පූර්ණයෙන් පහව ගොස් නැතිනම් අදාළ ප්‍රතිඵල භුක්ති විඳීමේ කාල පරාසය අගෝස්තු, සැප්තැම්බර් දක්වා, එසේත් නැතිනම් 2020 වසර අවසානය දක්වා දීර්ඝ වීමට ඉඩ කඩ තිබේ. සියලු දෑ එසේ වෙද්දී මහ මැතිවරණයකට මුහුණ දීමට ද ශ්‍රී ලාංකීය මහජනයාට සිදුවනු ඇත. එය තවදුරටත් මේ අවස්ථාවේ දී දෛනික ජන ජීවිතයට යහපතක්, සහනයක් ගෙන දීමට සමත් නොවන බව කොයි කාගේත් අදහස වී තිබේ.
අද වන විට බොහෝ පුද්ගලික අංශයේ ආයතනවලට අප්‍රේල් මාසයේ සේවක වැටුප් ගෙවීම ගැටළුවක් බවට පත්ව ඇත. බොහෝ සුළු පරිමාණ ව්‍යාපාර ආයතනවල සේවකයින් පමණක් නොව, හාම්පුතා ද අද වන විට සේවා වියුක්තිකයින් බවට පත්ව ඇත්තේ ආර්ථිකයේ දිශානතිය මනාව පෙන්නුම් කරමිනි. තත්ත්වය මෙසේ වන කළ, මෙම ආයතනවලින් ගණනාවක්ම තම පැවැත්ම ගැන බරපතළ ගැටළුවකට මුහුණ පා තිබේ. බැංකු හා මූල්‍ය සමාගම් හරහා ඒවා වෙත සහන ලබා දීමට රජය මහ බැංකුව හරහා පියවර ගෙන තිබුණ ද කුමන මට්ටමකින් එම සහන අවශ්‍ය පුද්ගලයින් වෙත ගලා යන්නේ දැයි පසුවිපරමක් කිරීම වටී.
අද (20) දින සිට රට පුරා ඇඳිරි නීතිය ක්‍රමයෙන් ලිහිල් කෙරෙන පසුබිමක ජනතාව තවදුරටත් උකස් කඩ ඉදිරිපිට පෝලිම් ගැසී නොසිටිනු දැකීම අදාළ බලධාරීන්ගේ අපේක්ෂාව විය යුත්තේය.එසේම කොළඹ නගරයේ යාචකයින් සියල්ලක්ම පාහේ ඉවත් කර ඇති අවස්ථාවක තවත් ‘යාචක පරපුරක්‘ බිහි නොකිරීමට ද බලධාරීන් වග බලා ගත යුතුය. එසේම රජයෙන් ලබා දෙන රුපියල් පන්දහසේ දීමනාවෙන් කොටසක් වයින් ස්ටෝර්ස් වෙත ලබා නොදීමට ද ජනතාව කටයුතු කළ යුතුය.
දෛනික ආදායම් ලාභීන් හා පුද්ගලික අංශයේ ආයතන ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමට වෙනම කාර්යසාධක බලකායක් පත් කරන්නේ නම්, එය මේ අවස්ථාවේ දී ඉතා වැදගත් ක්‍රියාමාර්ගයක් වනු ඇත. කේන්ස් වැනි රාමුවෙන් පිට සිට සිතන ශ්‍රී ලාංකීය අර්ථ ශාස්ත්‍රඥයින් වැදගත් වනුයේ මෙවනු අවස්ථාවල දීය.
– සිසිර කන්නන්ගර විසිනි