ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අධිරාජ්‍යවාදී ධනවාදයට කොරෝනා වෛරසයට මුහුණ දෙන්න බෑ – ටිල්වින් සිල්වා

ධනපති, අධිරාජ්‍යවාදී ලෝකයම කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අසරණ වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ධනවාදයට හෝ අධිරාජ්‍යවාදයට රෝගයක් සමඟ පවා හැපෙන්න පුළුවන්කමක් නැති බව මෙයින් තහවුරු කරන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

රට තුල පවතින විශේෂ තත්වය නිසා ජනතා විමුක්ති පෙරමුණේ 49 වැනි අප්‍රේල් විරු සමරුව මෙවර ෆේස්බුක් මඟින් සජීවි විකාශයක් ලෙස සිදුකරන ලද අතර එහිදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

මේ අවස්ථාවට ජවිපෙ නායක අනුර දිසානායක මහතා සහ ටිල්වින් සිල්වා මහතා සහභාගි වූ අතර සමරු දේශනය සිදුකරන ලද්දේ පක්ෂ ලේකම්වරයා විසිනි. 

රටපුරා සිටින සහ විදෙස්ගතව සිටින ජවිපෙ සාමාජිකයින් ෆේස්බුක් ඔස්සේ මෙම අවස්ථාවට සජීවීව සම්බන්ධ විය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මෙසේ ද පැවසීය.

“මිනිසා යනු සාමූහිකව ජීවත් විය යුතු පිරිසක්. ඔවුන් වෙන්කර හුදකලා කරන්නේ ධනපති ක්‍රමයයි. අධිරාජ්‍යවාදය අසමත්වීමේ ප්‍රමාණය ප්‍රදර්ශනය කරමින් අද වෙනකොට කොරෝනා ඉදිරියේ තව දුරටත් මිනිසුන් හුදකලා කරමින් තිබෙනවා. 

අධිරාජ්‍යවාදයේ මුදුන් මල්කඩ වන ඇමරිකා එක්සත් ජනපදය අද ඉතාම කණගාටුදායක තත්වයකට පත්වෙලා. පසුගිය සියවසකට ආසන්න කාලයක් තිස්සේ ඇමරිකාව නිර්මාණය කළ සමාජය රෝගයක් ඉදිරියේ අසරණ වෙලා. 

විද්‍යාවේ, තාක්‍ෂණයේ මහා දියුණුවක් එක්සත් ජනපදය අත්පත් කරගත්තත් ඒ ජයග්‍රහණ භාවිතා කළේ මිනිස්සු ජීවත් කරවන්න නෙවෙයි මිනිස්සුන්ව යටපත් කරවන්නයි; මිනිස්සුන්ව ඝාතනය කරන්නයි. 

මුළු ලෝකයක් ආක්‍රමණය කළහැකි මට්ටමේ අවි ආයුධ තැනුවා. අධිවේගී ප්‍රහාරක යානා නිර්මාණය කළා. නමුත් අපි මේ කතා කරන මොහොත වනවිට තුන්ලක්ෂ එකළොස්දාහකට අධික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. 

එක්සත් ජනපදය ලෝකයේ වේගයෙන්ම රෝගය ව්‍යාපත්වන රට බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම ඉතාලිය, ස්පාඤ්ඤය වගේ යුරෝපීය රටවල වැඩිම මිනිස්සුන් පිරිසක් මේ රෝගයෙන් මිය යනවා. ඒකෙන් පැහැදිළි වෙන්නේ ධනවාදයට මේ වසංගතය පාලනය කරන්න නොහැකිවී තිබෙන බවයි. 

එක්සත් ජනපදය හිතාගෙන හිටියේ මේ ලෝකයේ ඔවුන්ට කරන්න බැරි කිසිවක් නැහැ කියලා. ඔවුන් පහුගිය කාලය පුරාම නිර්මාණය කළේ මිනිසුන් සුවපත් කරන දේවල් නෙවෙයි, මිනිසුන් ඝාතනය කරන අවි ආයුධ. මිනිසුන් ඝාතනය කරන අවි ආයුධ දියුණු කරගත්තා මිස අසනීපයකින් මිනිසුන් සුවපත් කරන සෞඛ්‍ය සේවයක් ඔවුන් දියුණු කරගත්තේ නැහැ. 

අද එහි ප්‍රතිවිපාක ඔවුන් බුක්ති විඳිනවා. රෝගී වන අයට ප්‍රතිකාර ගන්න තියෙන්නේ සෞඛ්‍ය රක්‍ෂණයක්. රක්‍ෂණයේ මුදල් අවසන් වුණාම ප්‍රතිකාර නතර වෙනවා. රටේ සුපිරි ධනපතීන් කල් ඇතිව රෝහල් කාමර වෙන්කරගෙන. සාමාන්‍ය ජනතාවට යන්න තැනක් නැහැ. 

ඒ විතරක් නෙවෙයි ව්‍යසනය වෙලාවෙත් මනුෂ්‍යත්වය නැති හැසිරීමකුත් ප්‍රදර්ශනය කරනවා. එනිසා සමාජවාදයේ වටිනාකම සහ අවශ්‍යතාවය මේ රෝගයෙන් පවා ඔප්පුවී තිබෙනවා. 1971 අරගලයේ දිවි පිදූ සහෝදර සහෝදරියන්ගේ අරමුණු අපට මේ මොහොතේ වටින්නේ ඒ නිසයි. අද අත්දකිමින් තිබෙන්නේ නව සමාජය ගොඩනගන්න අසමත්වීමේ පීඩාවයි.

ලෝකය පුරා ව්‍යාප්තවන වසංගතය කිසියම් ප්‍රමාණයකින් හෝ පාලනය කරගැනීමේ හැකියාව අත්පත් කරගෙන තිබෙන්නේ සමාජවාදී රටවල්. සමාජවාදී රටවල ජයග්‍රහණ ගැන කතා නොකර හිටපු අයට පවා දැන් කතාකරන්න සිදුවෙලා. චීනය ඉතා ඉක්මනින් මේ තත්වය පාලනය කරන්න සමත් වෙනවා. චීනය ඉක්මවා සැතපුම් දහස් ගණන් ඈත රටවලට රෝගය පැතිරී යද්දීත් තමන්ගේ රටේ සමහර ප්‍රාන්ත බේරාගන්න හැකි වුණා. චීනයේ සමාජවාදය පිළිබඳව ගැටළු, විවේචන තිබෙන බව අපි දන්නවා. එරට සියලු දේ අනුමත කරන්න නොහැකි නමුත් චීන සමාජවාදය සහ ජනතාව වයිරසය පාලනය කරගැනීමේදී දැක්වූ සමත්කම අවතක්සේරු කරන්න බැහැ. කොමියුනිස්ට් පක්‍ෂයේ සමාජවාදී මධ්‍යගත යාන්ත්‍රණය, ජනතාවගේ විනය සහ කැපවීම නිසා මෙවැනි තත්වයක් සමඟ සටන්කිරීමේ හැකියාව තිබෙන බව ඔප්පුකළා. 

සමාජවාදී කියුබාවත් මේ බව ඔප්පුකර තිබෙනවා. ඇමරිකාව කියුබාව යටත් කරගන්න හමුදා මෙහෙයවද්දී කියුබාව ඖෂධ නිෂ්පාදනය කළා. ලෝකයේ මිනිස්සුන් ජීවත් කරවන්න වෛද්‍යවරුන් බිහිකළා. ඇමරිකාවත් කියුබාවත් දෙස බැලුවාම සමාජවාදය සහ ධනවාදය ගැන වෙනස දකින්න පුළුවන්. මේ වෙලාවේ රුසියාව තුළ පවා රෝගය පාලනය කරගැනීමේ සමත්කම තිබෙන්නේ වත්මන් රුසියාවේ හැකියාව නිසා නෙවෙයි. කාලයක් පැවතුණු සෝවියට් සමාජවාදී හැකියාවන් නිසයි. ආත්මාර්ථකාමයෙන් පිරිච්ච, විනයක් නැති සියල්ල මුදල් මත තීරණය කරන ධනවාදයට මෙවැනි තත්වයන් පරාජය කරන්න බැහැ කියන බව ඔප්පු කරමින් තිබෙනවා. අපි කරන අරගලයේ වැදගත්ම තියෙන්නේ, අපි කරන කාර්යභාරය වඩාත් ධෛර්යයෙන් කරන්න පොළඹවන්නේ මේ උදාහරණවලින්. තමන් විශ්වාසය කරන සත්‍යය වෙන්නේ ඕනෑම කැප කිරීමක් කරන්න පුළුවන් බව අපට කියා දුන්නේ 71 අරගල කළ අපේ සහෝදරවරුන්, සහෝදරියන්. ඒ නිසා ඔවුන්ට හිස නමා ආචාර කරන්න ඕනෑ. “