සති දෙකක දී රු. බිලියන 20ක විදෙස් ආයෝජන රටින් පිටවෙයි.
මෙරට තුල පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රජයේ සුරැකුම්පත් හි විදෙස් හිමිකාරීත්වය 2020 මාර්තු 04 දින වන විට රු. බිලියන 83 ක් දක්වා පහත වැටී ඇත. මෙම අගය 2020 පෙබරවාරි 26 දිනය වන විට දැක්වුණේ රු. බිලියන 91.24 ක් වශයෙනි. මේ අනුව ගෙවී ගිය සතිය තුළ දී විදෙස් ආයෝජකයින් විසින් රු. බිලියන 8.23 ක සිය ආයෝජන ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත. මෙම වසර ආරම්භයේ දී එනම් 2020 ජනවාරි 01 දිනට රු. බිලියන 104.02 ක විදෙස් ආයෝජන රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර තිබුණි.
මේ අතර 2020 පෙබරවාරි 19 දින වන විට රජයේ සුරැකුම්පත්වල විදෙස් හිමිකාරීත්වය රු. බිලියන 102.66 ක් වශයෙන් වාර්තා වී තිබුණි. මේ අනුව 2020 පෙබරවාරි 19 සිට 2020 මාර්තු 04 දක්වා සති 2 ක කාලපරිච්ඡේදය තුළ දී රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ඉවත් කර ගෙන ඇති විදෙස් ආයෝජන වල වටිනාකම රු. බිලියන 19.66 කි.
මෙලෙස දිගින් දිගටම රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙන් විදෙස් ආයෝජන ඉවත්වීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ ප්‍රතිචාර දක්වා සිටියේය. “ විදෙස් හිමිකාරීත්වයෙන් යන්න පුළුවන් සම්පූර්ණ ප්‍රමාණය ඩොලර් මිලියන 500 ට අඩුයි. ගිය අවුරුද්දේ වෙන කොට තිබුණු මිලියන 678 ක් වගේ ප්‍රමාණය පසුගිය කාලය තුළ දී මිලියන 100 කින් වගේ අඩු වෙලා තිබෙනවා. සන්සන්දනාත්මකව එහි ලොකු බලපෑමක් තිබෙනවා. විනිමය අනුපාතයට එතරම් ලොකු බලපෑමක් වුණේ නැහැ. ඒ මුදල් ගිහිල්ලත් දේශීය වෙළෙඳපොළ තුළින් එය මූල්‍යයනය කරන්න පුළුවන් වුණා.“