පාර්ලිමේන්තුව විසුරුවීම මාර්තු 02 – මැතිවරණය අප්‍රේල් 25වැනිදා
පාර්ලිමේන්තුව ලබන මාසයේ 2වැනිදා විසුරුවා හැරීමට රජයේ අවධානය යොමුවී ඇති අතර, ඒ අනුව මහමැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන මාසයේ 11 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලය තුළ සිදුකිරීමට ඉඩ ඇතැයිද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
මහමැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුව රැස්වන දිනය මැයි 12 වැනිදා වීමට බොහෝදුරට ඉඩ ඇති බවද ආරංචි මාර්ගවලින් පැවැසේ.
පාර්ලිමේන්තුව ලබන මාසයේ 2වැනිදා විසුරුවා හැරියහොත් ඡන්දය පැවැත්වීමට හැකි දින සහ නාමයෝජනා දින ආදිය විමසමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉකුත් දා ලිපියක් යවා තිබේ.
නියමිත දිනට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත්, නාමයෝජනා කැඳවීමේ දින වකවානු, ඡන්දය පැවැත්වෙන දිනය හා පාර්ලිමේන්තුව කැඳවන දිනය ආදිය අදාළ විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ඇතුළත් කළ යුතුව ඇති බැවින්, ජනාධිපති ලේකම්වරයා ඒ ගැන විමසමින් මෙම ලිපිය මැතිවරණ කොමිෂන් සභාව වෙත යවා ඇතැයි වාර්තා වේ.
මේ අතර, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලවකවානු සම්බන්ධයෙන් නීතිමය තත්වය ජනාධිපති ලේකම්වරයා විසින් ඉකුත් දා නීතිපතිවරයාගෙන් විමසා තිබූ අතර, 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට ලබන මාසයේ 1 වැනිදායින් පසුව ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව නීතිපතිවරයා දැනුම් දී ඇතැයි වාර්තා වේ.