මෙය සුවිශේෂී දේශපාලන මොහොතකි
ලංකා දේශපාලනයට මේ ළඟාවෙමින් තිබෙන ජනාධිපතිවරණය සුවිශේෂී අවස්ථාවකි. අප ඉතා හොඳින් දන්නා පරිදි මෙතෙක් බලය ලබාගත් දේශපාලන බලවේග රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයනවා වෙනුවට බලයට ආ කණ්ඩායමේ, ඔවුන්ගේ පක්ෂයේ, ඔවුන්ගේ අනුගාමිකයින්ගේ, අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරනු ලැබීය. එය ලංකා දේශපාලනයට අලුත් යමක් නොවන බවද අප දනිමු.
මෙතෙක් බලයට ආ දේශපාලන පක්ෂ සහ බලවේග නිදහසින් පසු ලංකාවේ දැවෙන ප්‍රශ්න පිළිබඳව වගේ වගක් නැතිව, එසේ නැත්නම් පැහැදිලිවම ඒවාට විසඳුම් සෙවීමේ ක්‍රියාදාමයකට යොමු නොවෙමින් වැඩ කළ බව පැහැදිලිය. නිදහසින් පසු ලංකාවේ තරුණ කැරලි ගණනාවක්ම සිදුවූ අතර තරුණ තරුණියන් දස දහස් ගණනින් මරා දැමීමද සිදුවිය. එසේම සුළු ජන කණ්ඩායම්වල අයිතීන් පිළිබඳව පැන නැගුණු ඉල්ලීම් නොසලකා හරිමින් තම ආධිපත්‍ය පමණක් සිතන පතන කණ්ඩායමක් හැමදාම රට පාලනය කිරීම හේතුවෙන් දීර්ඝකාලීන ජනවාර්ගික යුද්ධයක් ඇතිවීම පමණක් නොව රටෙහි ජන කණ්ඩායම් අතර විශාල බෙදීමක්ද සිදුවිය. 1960 ගණන්වලට ආපසු ගොස් බැලූවිට රටෙහි ජන කණ්ඩායම් අතර පැවති සහයෝගීතාවය පමණක් නොව රටෙහි ඉදිරිගාමී දේශපාලන ප්‍රවාහය අද වනවිට විශාල වශයෙන් ආපස්සට ඇදී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණකි. එදා මිනිසුන් අද මෙන්ම ආගම් ඇදහූ නමුත් ආගමික වශයෙන් මරාගන්නා තත්ත්වයකට පත් වී නොතිබූ අතර ජනවාර්ගික වශයෙන් සහයෝගයක් මෙම ජන කණ්ඩායම් අතර පැවතුණි.
නමුත් රටෙහි දේශපාලන නායකත්වය මෙම ප්‍රශ්නවලට විසඳුම් සෙවීම වෙනුවට ඒවා නොසලකා හැරීම හේතුවෙන් මෙම ප්‍රශ්න උග්‍ර වී රටෙහි ජනයා එකිනෙකා බෙදෙන මට්ටමකටත්, එකිනෙකා පිළිබඳව සැකයෙන් බලන මට්ටමකටත්, පක්ෂ වශයෙන් සහ ආගම් වශයෙන් මෙන්ම ජනවාර්ගික වශයෙන්ද එකිනෙකා කෙරෙහි සැකයෙන් බලන මට්ටමකටත් අද වනවිට රට පත්වී හමාරය. අප පැහැදිලිව දන්නා පරිදි රටේ තරුණ ජනගහනයෙන් මිලියන තුනක් පමණ රට හැරගොස් විදේශවල රැකියා කරන අතර බොහෝ උගත් තරුණ තරුණියන් රට හැර ගොස් වෙන රටවල ස්ථිරව පදිංචි වෙන මට්ටමක්ද ගොඩනැගී ඇත. මෙසේ විවිධ ගැටළුවලට මුහුණ දුන්, අර්බුද මැද පවතින සමාජ-දේශපාලන වාතාවරණයක් තුල රට අද වනවිට මෙම ජනාධිපතිවරණය වෙත ළඟා වෙමින් පවතී.
පොහොට්ටුව ලකුණෙන් සටනට ඉදිරිපත් වී සිටින රාජපක්ෂ සහෝදර කණ්ඩායමේ ගෝඨාභය රාජපක්ෂ ඔවුන් බලයේ සිටි අවදියේ වැඩ කළ ආකාරය, මිනිසුනට තර්ජන ගර්ජන කළ ආකාරය, නිදහස් අදහස්වලට තර්ජනය කළ ආකාරය, ඔවුනට එරෙහිව නොබියව කතා කළවුන් අතුරුදහන් කළ ආකාරය හෝ මහ මග අධි ආරක්ෂිත කලාපවල පවා මරා දැමූ ආකාරය සිහිබුද්ධිය ඇති අයට අමතක විය නොහැක. මිනිස් අයිතීන්, සුළු ජනවර්ග අයිතීන්, නීතියේ ආධිපත්‍ය නැතිනම් නීතිය මත පාලනය යන්න ඒ අවධියේ මතක් කිරීමට ඉඩක් නොමැතිව තිබූ කාරණාවන්ය. මිනිසුන් සතුන්ගෙන් වෙනස් වන්නේ නිදහස් මිනිසුන් ලෙස සිතීමට හා හැසිරීමට, අදහස් ඉදිරිපත් කිරීමට ඇති හැකියාවන් නිසාවෙනි. එම හැකියාවන් යටපත් කළ තැන එනම් මිනිස් අයිතීන් යටපත් කළ තැන, රටක නීතිය හැමටම එක් ආකාරයෙන් ක්‍රියාත්මක නොවන තැනක මිනිසා ගාල්කළ සතෙකුට වඩා වෙනස් නොවනු ඇත.
කෙසේ වුවද මේ වනවිට යහපාලන ආණ්ඩුව විසින් කළ ක්‍රියාදාමයන්ද එම ආණ්ඩුව බලයට පත් කරගැනීමට සහාය දුන් අයට අනුමත කළ නොහැකි තත්වයක පවතින බව පැහැදිලි කරුණකි. රාජපක්ෂ පාලනයට වඩා මේ අවධියේ කතා කිරීමේ නිදහස, බලෙන් අතුරුදහන් කිරීම ආදී කාරණාවන් නො තිබුවා වූවත් එදා ඔවුන් තම මැතිවරණ පොරොන්දු වශයෙන් දුන් කාරණා සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ඉටු කිරීමට සමත් වී හෝ උවමනාවක් පෙන්වා නොමැත. විශේෂයෙන්ම නීතිය මත පාලනය නැත්නම් නීතියේ ආධිපත්‍ය රට තුළ ස්ථාපිත කිරීම වාගේම දූෂණය ආදිය තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක වීමක් සිදු වී නොමැති බව පැහැදිලිය. නමුත් රාජපක්ෂ පාලනය සහ අද පවතින පාලනය සංසන්දනය කිරීමේදී සාපේක්ෂක ගුණාත්මක බවක් ඔවුන් පෙන්වූ බවද අපට අමතක කළ නොහැක.
අනෙක් අතින් ජාතික ජන බලවේගය යනුවෙන් ඒකරාශී වූ සංවිධාන සහ පක්ෂ ප්‍රමාණයක් එක්ව තමන්ද තමන්ගේම ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලදී. ජාතික ජනතා බලවේගය ඉදිරිපත් කරන අපේක්ෂකයා අනුර කුමාර දිසානායක අයත් වන්නේ ජනතා විමුක්ති පෙරමුණට හෙයින් මානව හිමිකම්, බලය බෙදීම ආදී කාරනා ගැන ඔවුන් පැහැදිලි මතයක් ඉදිරිපත් කිරීමද වැදගත්ය. පවතින තත්ත්වයන් තුළ රටෙහි තුන්වන බලවේගයක් ලෙස මතුවීමට මෙම දේශපාලන බලවේගයට හැකි වනවා නම් රටේ දේශපාලන සෞඛ්‍යයට එයඉතා වැදගත්ය. ලංකා දේශපාලනය විශාල වශයෙන් දූෂණයට ලක් වූ දේශපාලනයක් බව මා අලුතෙන් කිව යුතු නැත. රටෙහි බලය හොබවන ප්‍රධාන පක්ෂ සෑමදාම කටයුතු කර ඇත්තේ තම පවුල්වල, තම පාක්ෂිකයන්ගේ හෝ තම හිතවතුන්ගේ එසේ නැත්නම් තමන්ගේ අනුගාමිකයින්ගේ වුවමනාවන් ඉටු කරන කණ්ඩායම් ලෙසිනි. ඔවුන් බලයට පැමිණි විට තම පක්ෂය නොව රටේ උවමනාවන් ඉටුකිරීම දේශපාලනය බව කිසිදිනක ඔවුන් වටහා ගෙන නොමැත. නමුත් එවැනි දේශපාලනයක් වෙනස් කිරීමට නම් එතනින් එපිටට ගිය දේශපාලන බලවේගයක් ගොඩනැගීම, අඩුම තරමින් එවැනි බලවේගයක් ගොඩනැගීමේ ආරම්භයක් ඇතිකර ගැනීම රටට මෙම මොහොතේ අත්‍යවශය.
මෙම මොහොත සුවිශේෂී අවස්ථාවක් යයි මා ආරම්භයේදී පැවසූයේ අද වනවිට බලයට ඒමට උත්සාහ කරන බලවේග අතර ඇති මෙම වෙනස නිසාවෙනි. රාජපක්ෂවරු රට පාලනය කල අවදියේ පැවැති තර්ජනයන්, එදා පැවැති මර්දනය අද වනවිට අපට බොහෝ විට අමතක වී තිබිය හැක.
නමුත් එදා, දේශපාලන බලය තම සහෝදරයා තුළින් අතට ගත් ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාත්මක වූයේ රාජ්‍ය මැරයකු ක්‍රියාත්මක වන ආකාරයෙනි. ඔහුගේ විරුද්ධවාදීන්ට ඔහු ප්‍රසිද්ධියේම තර්ජනය කළ අතර ඔහුට එරෙහිව කතා කළ අයට මරණීය දණ්ඩනය දෙන බව පවා ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡාවලදී පවා කරනු ලැබුවේ දේශපාලන බලය තමා අත පවතින ඒකාධිපතියකු ක්‍රියාත්මක වන ආකාරයෙනි. එදා ඔහු සතුව දේශපාලන බලය නොතිබූ අතර බලයට හිමිකම් කීවේ තම සහෝදරයා තුළින්ය. නමුත් අද ජනාධිපති සටනට ඔහු පැමිණ ඇත්තේ ඔහුටම දේශපාලන බලය හිමිකර ගැනීම වෙනුවෙනි. ඔහුගේ දේශපාලන වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමේදී මිනිස් අයිතීන් හෝ නිදහස, ප්රජාතන්ත්ර අයිතීන් පිළිබඳව ඔහු අතින් වචනයක් හෝ අපතේ ගොස් නොමැත.
ඒ වගේම සිංහල බෞද්ධ සහ සිංහල ජාතිවාදී කණ්ඩායම් ඔහුගේ ගාමක බලවේගයයි. හමුදා නිලධාරීන් සහ නන්නත්තාර කණ්ඩායම් නැතිනම් පහුගිය වකවානුවේ රට තුරා බිහිවී ඇති මැර කණ්ඩායම් ඔහුගේ අනුගාමිකයින්ය. තමා බලයට පැමිණි විට තද පාලනයක් ගෙන ගොස් රට වෙනස් කරන බව ඔහු පවසයි. ඔහුගේ කියමන් කියාපාන්නේ අධිපතිවාදී පාලනයක් වෙත ඔහු රට කැඳවාගෙන යන බවයි. ඒකාධිපති බලය සහ පැසිස්ට්වාදය අතර වෙනස්කම් ඇතත් ජාතිවාදය, හමුදාවාදය සහ මැර බලය එකට එක්වූ විට බොහෝවිට බිහිවන්නේ ෆැසිස්ට්වාදී රාජ්‍ය ක්‍රමයයි. එනිසා ගෝඨාභයගෙන් අපට බලාපොරොත්තු විය හැක්කේ බොහෝ විට ඒකාධිපතිත්වය අභිබවාගිය ෆැසිස්ට්වාදය හෝ ඊට ආසන්න හිංසාකාරී පාලන ක්‍රමයක් බව පැහැදිලිය.
නමුත් යහපාලන කණ්ඩායම දිරිපත් කරන අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මේ වනතුරු ඉදිරිපත් කරන වැඩසටහන්වල කිසියම්ම වැදගත්කමක් දැකීමට නොමැති තරම්ය. රටේ මෙතරම් ප්‍රශ්න පවතින අවධියක විහාර දහස් ගණන් හැදීම වැනි කාරණා පිළිබඳ කථා කරන අතර රටෙහි දැවෙන ප්‍රශ්නයක් වන ජනවාර්ගික ප්රශ්නය වැනි ප්‍රශ්න පිළිබඳව හෝ ඒකාධිපති ජනාධිපතිවරයකු බිහිකරන ව්‍යවස්ථාව වෙනස් කිරීම පිළිබඳව ඔහු අතින් වචනයක් පිට වී නොමැති තරම්ය. නමුත් ඔහු ඉදිරිපත් වන්නේ එක්තරා පමණක සීමිත ලිබරල් දේශපාලන බලවේගවල අපේක්ෂකයා වශයෙනි. ඔහු තුළින් ප්රජාතන්ත්ර අයිතීන්ට සිදුවිය හැකි විනාශය ගෝඨාභය තුළින් සිදුවන ප්‍රමාණයට වඩා අඩු විය හැකි බව මගේ හැඟීමයි.
මා මීට ඉහතින්ද සඳහන් කළ පරිදි රටෙහි දේශපාලනය නිවැරදි තැනකට ගෙන ඒමට ගෝඨාභයට හෝ ප්‍රේමදාසට එසේ නැත්නම් ඔවුන් නියෝජනය කරන බලවේගවලට කිසිදිනක හැකියාවක් හෝ උවමනාවක් නොමැත. එය මෙම බලවේග බලය හෙබවූ අවදීන්හි පැහැදිලිව පෙන්වා ඇත. එනමුත් රටේ වැඩිදෙනෙකු තමන්ගේ ඡන්දය පාවිච්චි කරනු ඇත්තේ මෙම අපේක්ෂකයන් දෙදෙනාගෙන් කෙනෙකු වෙතයි. ඒ භූමියේ පවතින යථා තත්ත්වයයි.
එසේ වුවත් දීර්ඝකාලීනව දේශපාලන වශයෙන් තුන්වෙනි බලවේගයක් ගොඩනගා ගැනීම සඳහා මෙම ජනාධිපතිවරණය අවස්ථාවක් කර ගැනීම වැදගත් බව මගේ වැටහීමයි. එසේනම් ජාතික ජන බලවේගය වෙතට තව තවත් කණ්ඩායම් සහ ප්රගතිශීලී පක්ෂ, සුලුජන කණ්ඩායම් සහ ඒවායෙහි පක්ෂ එක්කර ගැනීම මේ මොහොතේ වැදගත්ම කාරණයයි. එසේ ගොඩනැගෙන දේශපාලන බලවේගයක් ඊළඟ මහ මැතිවරණයකදී විවිධ තලවල දේශපාලන අපේක්ෂකයින් නැත්නම් නියෝජිතයින් වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට යවා ගැනීමට මෙම ඡන්දය අඩිතාලම කරගැනීමට ඇති අවස්තාව මෙහි ඇති සුවිශේෂ වැදගත්කමකි.
(රංජිත් හේනායකආරච්චි)