ජවිපෙ විශ්වාසභංග යෝජනාව ගැන TNA වැටඋඩ – අවසන් තීන්දුව හෙට උදේ.
ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබද දෙමළ ජාතික සන්ධානයේ තීරණය හෙට(11) පෙරවරුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කරන බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය. පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට පෙරවරු 10ට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වී මේ පිළිබද සාකච්ඡා කර අවසන් තීරණයට පැමිණීමට නියමිතය.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් 14 දෙනා අතර විවිධ අදහස් ගොඩනැගී ඇති බවත් ටෙලෝ සංවිධානය නියෝජනය කරන මන්ත්‍රීන් දෙපළ ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මීට සහාය දැක්වීමේ හෝ මධ්‍යස්ථව සිටීමේ අදහස් දරන බවත් එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසීය.
දෙමළ ජනතාවගේ ගැටළු නිසි ලෙස විසදා නොදීමත්,දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් රජය පෙනී නොසිටීමත් මත වත්මන් ආණ්ඩුව කෙරෙහි දෙමළ ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇතැයි පැවසූ එම ප්‍රකාශකයා පක්ෂයක් වශයෙන් කල්පනාකාරී තීරණයක් මේ අවස්ථාවේදී ගතයුතුව ඇතැයිද පෙන්වා දුන්හ.
මේ අතර විශ්වාසභංගයට දෙමළ ජාතික සන්ධානය සහාය දැක්විය යුතු බවත් කිසිදු ආකාරයේ සහයක් ආණ්ඩුවට නොදිය යුතු බවත් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.
කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගය අද සහ හෙට විවාදයට ගැනෙන අතර හෙට(11) සවස මීට අදාල ඡන්ද විමසුමද පැවැත්වේ.
එවන් තත්වයක් මැද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම හෙට පෙරවරුවේ රැස්වී මේ පිළිබද සිය අවසන් ස්ථාවරය තීරණය කිරීමට නියමිතය.