“ජනාධිපති කෙනෙක් මීට වඩා බුද්ධිමත්ව කතා කළ යුතුයි”
ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සහ 19 වන සංශෝධන අහෝසි කළ යුතුව ඇති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉරිදා (ජූනි 23) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානයක් යොමු වී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට දායක වූ අතර, 19 වන ව්‍යවස්ථා සංශෝධනය ස්ථාපනය කිරීමට මුල් වූ පුද්ගලයෙකි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40 ක් සපිරීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඉරිදා පැවති සැමරුම් උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ, “පශ්චාත් මරණ පරීක්ෂණය දැන් තියන්න වේලාව ඇවිල්ලා තියෙනවා. අපි මේවා කතා කරන්න ඕන. අවුරුදු හතරහමාරක කාලය තුළ ආණ්ඩුව රටේ නරක් වුණා නම් නරක් වුණේ ප්‍රධානම හේතුව තමයි 19 වන සංශෝධනය. 19 වන සංශෝධනය ආවේ නැත්නම් මේ ආණ්ඩුව ඉතාම හොඳ ආණ්ඩුවක්. මේ රටේ ජනතාව අතරේ චෝදනාවක් තිබෙනවා අගමැතිතුමායි මායි දෙපැත්තට අදිනවයි කියලා. ඒ දෙපැත්තට අදින තත්ත්වය ඇතිවුණේ 19 වන සංශෝධනයෙන්,” යනුවෙනි.
“18 වන සංශෝධනය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රාජ්‍ය ආණ්ඩුක්‍රමයක්. ඒක තනිකර ආඥාදායක ක්‍රමයක් 18 වන සංශෝධනය. 18 වන සංශෝධනය අහෝසි කරන්න තමයි අපි ආණ්ඩුවක් හැදුවේ. 18 වන සංශෝධන ක්රමයේ රාජ්‍ය ආණ්ඩුක්‍රමයත් ඒකාධිපතික්රමයත් ඒක ඉතාමත්ම නුසුදුසුයි.”
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වූ බවය.
“19 වන සංශෝධනය මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. එක නායකයෙක් නැතුව ගියා. 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිත් අගමැතිත් දෙපැත්තට අදින ක්‍රමයක් හැදුණා. ඒකෙන් රටටත් විශාල අලාභයක් සිදුවුණා. ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා. මේ රට යහපත් රටක් විදියට ගොඩගන්න නම් විශේෂයෙන් ම බොහෝ දේශපාලන විචාරකයින් කතා කරන මාධ්‍යවල කතා කරන මීට වඩා වෙනස්ව හිතන්නට ඕන. 18 වන සංශෝධනයත් 19 වන සංශෝධනයත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ සංශෝධන දෙක ම අවලංගු කෙරුවොත් තමා මේ රටට යහපතක් වෙන්නේ. 18 ඒකාධිපති 19 අස්ථාවරත්වය. රට අරාජිකයි කියලා මිනිස්සු අපිට කියන්නේ 19 වන සංශෝධනයෙන් ඇති වෙච්ච තත්ත්වය. 19 වන සංශෝධනයක් ඇති නොවුණා නම් මේ අවුරුදු හතර හමාර මීට වඩා විශිෂ්ට ජයග්‍රාහී සිව් වසරක්.”
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් පැවසුවේ, රට ගොඩ ගැනීමට නොහැකි වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්රශ්නය හේතුවෙන් බවය.
“අපි පිළිගන්න ඕන අපි අතින් සිදුවෙලා තියෙන වැරදි මොනවා ද කියලා. පාර්ලිමේන්තුවේ 225 න් 215ක් 19 වැනි සංශෝධනයට ඡන්දේ දුන්නා. 19 වැනි සංශෝධනය හදපු ආණ්ඩුක්‍රම විශාරදයෝ හිතුවේ නැහැ මේ රටට මේ විනාශය සිද්ධ වෙයි කියලා මේ 19 වැනි සංශෝධනයෙන්. ඒ නිසා අනාගතයේ රට ගොඩගන්න නම් පුද්ගලයින් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ 18 සහ 19 අහෝසි කරපු දවසට මේ රටේ ජනතාව සතුටු වෙන හොඳ පාලනයක් ගෙනියන්න පුළුවන්. එතනින් හොඳ ප්‍රතිඵල පෙන්නන්න පුළුවන්. ප්රජාතන්ත්රවාදයත් තියෙනවා. නිදහසත් තියෙනවා. සාමයත් තියෙනවා. මාධ්‍ය නිදහසත් තිබෙනවා. කාර්යක්ෂමව වැඩ කරන්නත් පුළුවන්. ඒ සියල්ලත් සම්පූර්ණ වෙනවා.”
ප්රශ්නය ව්‍යවස්ථාව ද?
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන ආකාරයට රටේ ප්‍රශ්නවලට සැබෑ හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද?
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය විශාකා සූරියබණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පවතින පරස්පරතාවලට හේතුව කිසිසේත් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොවන බවය.
“මේක මේ පය බරවායට පිටිකර බෙහෙත් බඳින්න කියනවා වගේ කතාවක්. මෙතන තියෙන්නේ ව්‍යවස්ථා ප්‍රශ්නයක් නෙවේ, දේශපාලනික පෞරුෂත්වය පිළිබඳ ප්‍රශ්නයක්. 19 වන සංශෝධනයෙන් ඔය කියන තරම් බලය අවම වීමක් සිදුවුණේ නැහැ. තමන්ගේ බලය පාවිච්චි නොකිරීමයි මෙතන තියෙන ගැටලුව. සමහර ජනාධිපතිවරු තමන්ගේ බලය ඉක්මවා භාවිත කළා. තවත් අය බලතල තියාගෙන ඒවා නෑ වගේ හිටියා,” ආචාර්ය විශාකා සූරියබණ්ඩාර සඳහන් කළාය.
ඇය පෙන්වා දුන්නේ, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පැමිණියේ ම ජනාධිපති බලතල අඩු කරන බවට ප්‍රතිඥා දෙමින් බවය.
“මේ ජනාධිපතිතුමා බලයට පත් වුණේ ම ජනාධිපතිගේ අත්තනෝමතික බලතල අඩු කරනවා කියලා. ඒත් 19 වන ව්‍යවස්ථාවෙන් ඔය කියන තරම් බලතල අඩු කළෙත් නැහැ. එහෙම පසුබිමක් තුළ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් තමන්ගේ බලතල අඩු වුණා කියන එක විහිළු කතාවක්. හේන මුවෝ කාලා ගියාට පස්සේ ගෙදර තියෙන මුව හමට තලලා වැඩක් නෑ,” ආචාර්ය විශාකා සූරියබණ්ඩාර කියා සිටියාය.
“දේශපාලනය ගැන කිසි ම දෙයක් නොදන්න කෙනෙක් ඒ වගේ කතා කරන එක ප්‍රශ්නයක් නැහැ. ඒත් රටක ජනාධිපති කෙනෙකුට ඒ වගේ වගකීමක් නැති ප්‍රකාශ කරන්න බැහැ. රටක ජනාධිපති කෙනෙක් ඊට වඩා බුද්ධිමත්ව කතා කළ යුතුයි.”
මේ අතර බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ ආකාරය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එය සම්මත කරගැනීමට දායක වූ අන්දම ගැන දීර්ඝ විස්තරයක් කළේය. (පහත වීඩියෝව නරඹන්න)
