ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජනහමුවට වෙඩිතබා දෙදෙනෙකු ඝාතනය කල මහින්දගේ ගෝලයා ජූලම්පිටිය අමරේගේ සාක්ෂි විභාගය අවසන්.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ හම්බන්තොට කටුවනදී ජවිපෙ ජනහමුවට වෙඩිතබා දෙදෙනෙකු ඝාතනය කිරීමේ නඩුවේ ජූලම්පිටිය අමරේට එරෙහි සාක්ෂි විභාගය අවසන් කර තිබේ. ජූලම්පිටිය අමරේ මනුෂ්‍ය ඝාතන කිහිපයකට හා තංගල්ල බන්ධනාගාර කැරැල්ලටද චෝදනා ලැබ සිටි අයෙකු වන අතර ඔහු රාජපක්ෂ වරුන්ගේ ආරක්ෂකයෙකු ලෙසද කටයුතු කර ඇත.

කටුවන හැඩිවත්ත ප්‍රදේශයේදී 2012 වසරේ ජුනි 15වනදා පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ ප්‍රාදේශීය ජනහමුවකට වෙඩි තබා ජනහමුවට සහභාගී වී සිටි දෙදෙනෙකු ඝාතනය කර එක් අයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ (17) තංගල්ල මහාධිකරණයේ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා ඉදිරියේ විභාගයට ගැණුනු අතර එහිදී ඊට අදාළ සාක්ෂි විමසීම අවසන් කර තිබේ.

ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේට නැමත්තා, එදින පැවති ජවිපෙ රැළියට වෙඩි තබා එදිරිමාන්න පතිරනගේ මාලනී (50) ජයසේකර පතිරනගේ හේෂාන් (18) යන දෙදෙනා ඝාතනය කර නෙත්තසිංහ ලියනගේ සුජිත් නිමේෂ යන අයට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබූ අතර ඔහුට විරුද්ධව වු චෝදනා සම්බන්ධයෙන් වූ නඩු විභාගය 2016 පෙබරවාරි මස 29 දින සිට විභාගයට ගෙන තිබිණි.

තංගල්ල මහාධිකරණයේ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා ඊයේ මෙම නඩුව විභාගයට ගෙන ඇති අතර එහිදී ඝාතනයේ සැකකරු වූ ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ සාක්ෂි ලබා දී ඇත. ඉන් අනතුරුව මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා ලබන මස 04 වැනි දින දක්වා නඩුව කල්තබා ඇති අතර එදිනට සාක්ෂි සටහන් පිළිබඳව විමර්ශනයක් කිරීමට නියමිතය.