ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

බැඳුම්කර වංචාවට මහෙන්ද්‍රන් – ඇලෝෂියස් ඇතුළු 10 කට අධිචෝදනා ගොනු කිරීමට අවසර

2015 වසරේදී සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට අද (13) අග විනිසුරුවරයා නීතිපතිවරයාට අවසර ලබා දී තිබෙනවා.
එවකට මහ බැංකු අධිපතිවරයා වූ අර්ජුණ් මහෙන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට විශේෂ මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමට පසුගියදා නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් සිදුකළ ඉල්ලීම සලකා බැලීමෙන් පසුව මෙම අවසරය ලැබිණි.
2015 ජනවාරි 27 වන දා බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන දස දහස් පනස් අටක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යපහරණයට කුමන්ත්‍රණය කිරීම එක් චෝදනාවකි.
මීට අමතරව ඊට අනුබල දීමෙන් පොදු දේපළ පනතේ 5(1) වගන්තිය යටතේ ගැනෙන සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව ද සියලු ම විත්තිකරුවන්ට එල්ල වී තිබේ.
රුපියල් බිලියන 10.08 වටිනා භාණ්ඩාගාර බැඳුම්කර බැහැර කිරීමට අදාළව පොදු දේපළ පනතේ සාපරාධී විශ්වාසය කඩ කිරීමෙන් රජයට රුපියල් මිලියන 688 කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනා අර්ජුන මහේන්ද්‍රන්ට හා මහ බැංකුවේ හිටපු නියොජ්‍ය අධිපති පී. සමරවීර යන අයට චෝදනා එල්ල වී තිබේ. මොවුන්ට එරෙහිව ඇති අධිචෝදනා ගණන 23කි.
නඩුවේ ස්වභාවය, සංකීර්ණ බව, මෙම වංචාවෙන් ආර්ථිකයට සිදු වූ අහිතකර බලපෑම සලකා බලා විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කරන බවයි නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ අධි නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේ.