ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

සිරිසේන රටට බොරු කියයි – ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ජනපති දැනුවත් කරලා

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ පූර්ව දැනුවත්භාවයක් තමන්ට නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළද එහි සත්‍යතාවක් නොමැති බව දැන් හෙළිදරව් වෙමින් තිබේ.
ජාතික බුද්ධි අංශය, රාජ්‍ය බුද්ධි අංශය ඍජුවම සේනාධි නායකයා වශයෙන් ආරක්ෂක අමාත්‍යවරයා වශයෙනුත් වගකියන්නේ ජනාධිපතිවරයාටය. මේ මොහොතේ ආරක්ෂක ලේකම්වරයාත් පොලිස්පතිවරයාත් දැනුවත්ව සිටි කාරණය ජනාධිපතිවරයා නොදැන සිටීමම සාමාන්‍ය දැනුමට අනුව වුවද ප්‍රශ්නයකි.
විශේෂයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සමග ඍජුවම සම්බන්ධ වන්නේ ජනාධිපතිවරයාය. වාර්තා වන අන්දමට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් වීම් ලබාගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්වරයාගෙනි. ඉතා සමීප ලෙස ජනාධිපතිවරයා හා රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇත.
රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා පමණක් නොව ජාතික බුද්ධි ප්‍රධානියා වන සිසිර මෙන්ඩිස් මහතාද අප්‍රේල් 04 වැනිදා ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා වෙත මෙම ත්‍රස්ත අවධානම දැනුවත් කර තිබුණි. (විදෙස් බුද්ධි වාර්තාවකට අනුව)
මෙන්ඩිස් මහතා අප්‍රේල් 09 වැනිදා පොලිස්පතිවරයාව දැනුවත් කර ඇති අතර ඒ අනුව පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 04 දෙනෙක් දැනුවත් කර ඇත. එම දැනුවත් කිරීමට අනුව ක්‍රියාත්මක වී තිබුණේ විශේෂ ආරක්ෂක දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතාය. පසුගිය 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සමාජ මාධ්‍ය හරහා සංසරණය වූයේ ප්‍රියලාල් දසනායක මහතා විසින් නිකුත් කළ ලිපියයි.
ජාතික බුද්ධි අංශය සහ රාජ්‍ය බුද්ධි අංශය යන ආයතන දෙකම සියලු බුද්ධි තොරතුරු මුලින්ම වාර්තා කරන්නේ ආරක්ෂක අමාත්‍යවරයාටය. ආරක්ෂක අමාත්‍යාංශයේ භාරකාරත්වය සහ වගකීම ඇත්තේ ජනාධිපතිවරයාටය.
ආරක්ෂක අමාත්‍යාංශයේ සෙසු ප්‍රධානීන් ඒ සම්බන්ධයෙන් දැනුවත්වීමත් ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් සේනාධිනායකයා ලෙසත් ජනාධිපතිවරයා දැනුවත් නොවීම එක් අතකට විහිළුවකි. වැරදීමකින් හෝ ඒ ඇත්තක් නම් ජනාධිපතිවරයා යනු අසමත් නායකයෙකි. පවත්නා තත්ත්වය හමුවේ මෙය සටහන් කිරීම සිදුව තිබේ.
පසුගිය ඔක්තෝබර් දේශපාලන පෙරළියෙන් පසු අගමැතිවරයා සහ රාජ්‍ය ආරක්ෂක ඇමති ආරක්ෂිත කවුන්සිලයෙන් විසි වී තිබේ. එමෙන්ම පොලිස්පතිවරයාද ආරක්ෂක කවුන්සිලයට කැඳවා නැත. මෙතෙක් කාලයක් එය වසන් කර තිබීම සම්බන්ධයෙන් මෙකී වගකිවයුත්තන්ද වගකීමට බැඳී සිටී.
එහෙත් විශේෂ කාරණය වන්නේ ආරක්ෂක මණ්ඩලයට අදාළ නොවන පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන සිය හිතවත් මන්ත්‍රීවරු කැඳවා තිබීමයි.
අප දන්නා පරිදි ආරක්ෂක මණ්ඩලයට සහභාගි වන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, රාජ්‍ය හෝ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා, පොලිස්පති, අමාත්‍යාංශ ලේකම්වරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු සහ රාජ්‍ය හා ජාතික බුද්ධි අංශ ප්‍රධානීන්ය. එහෙත් එම සීමාව ඉක්මවා යමින් ජනාධිපතිවරයා විපක්ෂ මන්ත්‍රීවරු ආරක්ෂක කවුන්සිලයේ වාඩි කරවීමද වලංගු කාරණයක් නොවේ.
ජනාධිපතිගේ මත්ද්‍රව්‍ය වැළැක්වීම සහ මදූෂ් උන්මාදය
ආරක්ෂක මණ්ඩලය තුළ සමස්තයක් ලෙස ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුවිය යුතු වුවත් ජනාධිපතිවරයා වැඩි වශයෙන් අවධානය යොමුකර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම හා එහි ප්‍රධාන ජාවාරම්කරුවකු වන මාකදුරේ මදූෂ් කොටුකර ගැනීම සම්බන්ධයෙනි. මත්ද්‍රව්‍ය ජාවාරම රටින් පමණක් නොව ලෝකයෙන්ම තුරන් විය යුතු කාරණයකි. ඊට අපි සියයට දාහක්ම එකඟ වන්නෙමු. ජාතික ආරක්ෂාව යනු මත්ද්‍රව්‍ය ජාවාරම පිටුදැකීමම පමණක් නොවේ.
ජාතික ආරක්ෂාව ගැන කතා කරන්න ආරක්ෂක ලේකම්ට විනාඩි පහයි
මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම ගැන විශාල අවධානයක් යොමුකර ඇති ජනාධිපතිවරයා සෙසු කාරණා සම්බන්ධයෙන් කතා කිරීම සඳහා විශේෂයෙන් ආරක්ෂක ලේකම්වරයා ලබාදී ඇත්තේ ඉතා සුළු කාලයකි. බොහෝ විට එය විනාඩි පහකට හයකට පමණ සීමා වී ඇත. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු තමන් නිලන්ත ජයවර්ධන මහතා හරහා දැනුවත් වන බව ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාට පවසා ඇති බවයි අප වෙත වාර්තා වූයේ.
මෙවන් පසුබිමක් තුළ ජනාධිපතිවරයා ඉකුත් 21 වැනිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන දැනගන්නේ මුහුණුපොතෙන් වීම යුක්තිසහගත නැත. අනෙක් අතින් එලෙස පැවසීම රාජ්‍ය නායකයාට නොවටිනා කාරණයකි.
පෞද්ගලික දේශපාලන කෝන්තර මත සිටිමින් තවදුරටත් එම කෝන්තරය තුළින්ම අර්බුද විසඳීමට උත්සාහ දැරීම පිළිගත නොහැකිය. එහෙත් පාලකයන්ගේ එවැනි විගඩම් දෙස බලා සිටින්නට තරම් අප මේ රටේ අවාසනාවන්ත මිනිසුන් බවට පත්ව තිබේ.
(LNW)