ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අගමැති-ජනපති-පොලිස්පති තමන්ගේ පුටුව රැක ගන්න එකිනෙකාට ඇගිල්ල දිගුකරනවා.

ත්‍රස්ත ප්‍රහාරයන් පසුව ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් හැසිරීමෙන් නැවත නැවත ප්‍රදර්ශනය කරමින් තිබෙන්නේ රටට වගකිව යුතු, ආරක්ෂාව පිළිබඳව වගකිව යුතු නායකයින් ලෙස ක්‍රියා නොකරන බව යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

පසුගිය 21 දා එල්ල කරන ලද ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අද(29) එම පක්ෂ සුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

“රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වගේම ජනාධිපතිවරයාත් ලැජ්ජා විය යුතුයි. මේ ප්‍රහාරය ගැන තමන් දැනගත්තේ සමාජ මාධ්‍ය හරහා බව ඔහු කියනවා.

මෙයින් කියන්නේ ඔහුට යටින් කිසිදු සංවිධාන යාන්ත්‍රණයක් නොමැති බවද? නමුත් බුද්ධි අංශ පවතින්නේ ඔහු සතුව නම් ආරක්ෂක අමාත්‍යාංශය සතුව පොලිස් දෙපාර්තමේන්තුවත් තියාගෙන ඉන්නවා නම් අයවැය ලේඛනයේ විශාල මුදලක් ජනාධිපතිවරයා වෙනුවෙන් වැය කරනවා නම්, එයින් පෙන්නුම් කරන්නේ මේ රට සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දරන වගකීමේ ස්වභාවයයි.

සමහර විට ඔහු යටතේ සිටින නිලධාරීන් කල්පනා කරන්න ඇති මේ තොරතුරු ජනාධිපතිවරයාට කීමෙන් වැඩක් නැහැ කියල. පොලිස්පති වරයාත් ආරක්ෂක ලේකම්වරයාත් බුද්ධි අංශයේ ප්‍රධානීන් සාකච්ඡා කළ යුතු වන්නේ ජනාධිපතිවරයා එක්කයි.

නමුත් ඒ නිලධාරීන් තොරතුරු වාර්තා කළේ නැහැ කියලා ජනාධිපතිවරයාම කියනවා නම්, ඔහු තේරුම් ගත යුත්තේ තමන්ට වගකිව යුතු නිලධාරීන්ගේ ඔළුවේ තමන් ගැන හැදිලා තියෙන චිත්‍රයේ ස්වභාවයයි.

මේ ප්‍රහාරයන් තමන්ට සිදුවී තිඛෙන හානිය, මේ වගකීමෙන් ඔහුට මිදෙන්න බැරි ස්වභාවයත් සමාජය ඉදිරියේ සාධාරණය කරගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා වගකීම් විරහිත ප්‍රකාශ කරමින් සිටිනවා.

පැය 24ක් ඇතුළත වේගවත් ලෙස ආරක්ෂක අංශ ප්‍රතිසංවිධානය කරන බව ප්‍රකාශ කළත්, මේ දක්වා මොනවාද කර තිබෙන්නේ.

ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස දැන්වූ බව අවස්ථා ගණනාවකදී මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. හැබැයි ජනාධිපතිත් පුටුවේ ඉන්නවා.

පොලිස්පතිත් තමන්ගේ ඒ පුටුවෙම ඉන්නවා. එහෙනම් ජනාධිපතිවරයාගේ ඇති ඵලය මොකක්ද? ආරක්ෂක අංශ ප්‍රතිසංවිධානය කරන බව කීවත් මේ දක්වා කර ඇති එකම දේ ආරක්ෂක ලේකම්වරයා ඉවත් කිරීම පමණයි. රටේ ජාතික ආරක්ෂාව පිළිබඳවත්, ජනතාවගේ ආරක්ෂාව පිළිබඳවත්, ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වගකීමෙන් ක්‍රියා නොකරන බව සනාථ කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයා, පොලිස්පතිවරයා තමන්ගේ පුටුව රැකගැනීම සඳහා පොරයක ඉන්න අතර, ජනතාව අනාරක්ෂිතභාවයක ඉන්නවා.

මේ ප්‍රහාරය දේශපාලන කණ්ඩයම්, බටහිර රාජ්‍යයන්, තම තමන්ගේ බල වුවමනාවෙන් පාවිච්චි කරමින් ඉන්නවා. ඒ වගේම පරාජිත කණ්ඩායම්වලට දේශපාලන සටන් පාඨ අහිමිවී තිඛෙන අවස්ථාවක මේ ම්ලේච්ඡ ප්‍රහාරය පදනම් කරගෙන තමන්ගේ මුළු දේශපාලන ව්‍යාපෘතිය දියත් කරන්න ක්‍රියාකරමින් සිටිනවා. “