පක්ෂය තවදුරටත් දුර්වල කරන්න එපා..! සජිත්ට – රවීට නවින් දිසානායක කියයි.
ගැටුම් අවසන් කර පක්ෂ වැටී ඇති අගාදයෙන් ගොඩගැනීමට කැපවන ලෙසට තමන් රවී කරුණානායක හා සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ගෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි
ඕනෑම ගැටළුවක් පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ඡා කර විසඳාගත යුතු බවත් මෙසේ ප්‍රසිද්ධියේ ගැටුම් ඇතිකර ගැනීම පක්ෂය මෙයින්ට වඩා දුර්වල කරන්නක් බවත් ඉදිරි මැතිවරණ වෙනුවෙන් අපි සැවොම මතබේද අමතකකර එකමුතුව කටයුතු කළ යුතුව ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය නවින් දිසානායක මහතා මේ බව පැවසුවේ නුවරඑළිය 2019 මල් ප‍්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නවින් දිසානායක මහතා
‘‘එක්සත් ජාතික පක්ෂය දැවැන්තයන්ගේ දේශපාලන පක්ෂයක්. සමහර අවස්ථාවල මේ දැවැන්තයන් අතර මත භේද ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම 1980 ගණන්වලත් මට මතකයි එක්සත් ජාකිත පක්ෂයේ දැවැන්තයන් වු පේ‍්‍රමදාස මැතිතුමා හා මාගේ පියාණන් අතරත් මතවාද ඇති වුණා. මේ මත වාදවලින් පක්ෂය දෙදරනවා. ප‍්‍රශ්න ඇතිවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පක්ෂයක විශේෂ ලක්ෂණයක්.
පක්ෂයේ දැවැන්තයන් වන රවී කරුණානායක මැතිතුමා හා සජිත් පේ‍්‍රමදාස මැතිතුමා මා ඉතාමත්ම අගය කරන ගරු කරන ආදරය කරන චරිත දෙකක්. ඔවුන් අතරේ යම් කිසි ප‍්‍රශ්නයක් ඇතිවෙලා නම් අපි මැදිහත් වෙලා එය විසඳාගත යුතුයි.මේවා ප‍්‍රසිද්ධියේ කථා කරන්න අවශ්‍ය නෑ, පක්ෂය ඇතුළේ සාකච්ඡා කරලා එකමුතුව කටයුතු කරන්නයි නායකතුමා ඔවුන්ට දෙදෙනාටම කථා කරලා අවවාද කරලා තියෙනවා. මමත් ඔවුන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා එලෙස කටයුතු කරන්න කියලා.
මීට වඩා ප‍්‍රශ්න පොහොට්ටුවේ තියෙනවා. පොහොට්ටුවේ අපේක්ෂකත්වය ගන්න යටකොට ඒ අපේක්ෂකයන්ට විරුද්ධව කුමාර වෙල්ගම මැතිතුමා මීට වඩා දැඩි දරුණු ප‍්‍රකාශ කරලා තියෙනවා. අපි පක්ෂයක් හැටියට අපේක්ෂකයෙක්ව තෝරලා ඒ අපේක්ෂකයව ඉදිරිපත් කරනවා. එක්සත් ජාතික පක්ෂය තෝරන ඕනෑම අපේක්ෂකයෙකුට සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න කටයුතු කරනවා කියන එක පැහැදිලිව මා මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරනවා’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.